(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බණ්ඩාරගම නගරයේ දී සුඛෝපභෝගී ජීප් රථයක ගැටීමෙන් අනතුරට පත්ව තුවාල ලබා, සිහි විසඥව මහා මාර්ගයේ වැටී සිටි වඳුරෙකුට මූලික ප්‍රතිකාර ලබාදී ප්‍රකෘති තත්ත්වයට පත්කරලීමට වාද්දුවේ තරුණියක්, සිය නැගණිය සමග පියවර ගත්හ.

මාර්ගය හරහා ගමන් ගත් වඳුරන් දෙදෙනෙකු අවස්ථා දෙකකදී පානදුර  දෙස සිට හොරණ දෙසට ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී ජීප් රථයක ගැටීමෙන් එක් වඳුරෙකු එම ස්ථානයේම  මියගොස් අනෙකා  තුවාල ලබා  සිහි  විසඥව මාර්ගයේ වැටී සිටියදී එම තරුණිය එලෙස ඉදිරිපත් වූවාය 

බණ්ඩාරගම පානදුර මාර්ගයේ දී  සිදු වූ මෙම අනතුර එම මාර්ගයේ ගමන් ගත් සිය ගණනකගේ නෙත ගැටුණ ද කිසිවකු මාර්ගයේ සිහි විසඥව වැටී සිටි වඳුරාව අවම වශයෙන් මාර්ගයෙන් ඉවත් කිරීමට හෝ කටයුතු  කිරීමට ඉදිරිපත් නොවුහ.

එම අවස්ථාවේ දී ඒ ආසන්නයේ දෙමහල් ගොඩනැගිල්ලක උඩුමහලේ සිය සහෝදරයාගේ මංගල උත්සවය සඳහා රූපලාවන්‍ය  කටයුත්තකට පැමිණ රූපලාවණ්‍යගාරයක රැඳී සිටි  තරුණිය එහි වීදුරු අතරින්  මේ බව දැක වහා සිය සහෝදරිය සමග එම ස්ථානයට දිව විත්   දෑතින් වඳුරා  ඔසවාගෙන ගොස් මාර්ගයෙන්  ඉවත් කිරීම  හේතුවෙන් තවත් වාහනයකට ගැටී මියයාමට තිබු අවස්ථාව ද මඟ හැරිණි.  මිය ගිය අනෙක් වඳුරා ව තවත් පුද්ගලයකු විසින් මාර්ගයෙන් ඉවත් කිරීමට කටයුතු කෙරිණි 

තුවාල ලබා සිටි  වඳුරා  පදික වේදිකාව මත තබා කෑගසමින් වතුර ඉල්ලා  වඳුරාට පොවන අතරේ එක් අතෙකින් උගේ  හිස පිරිමැදීමට තරුණිය කටයුතු කළ අතර  මද වේලාවක දී  සීහි විසඥව සිටි වඳුරා ව ප්‍රකෘති තත්ත්වයට ගැනීමට ඇය  සමත් වූවාය  . තරුණියගේ ක්ෂණික මැදිහත්වීමත් , වඳුරාට මූලික ප්‍රතිකාර ලබාදීමට හැකිවීමත් හේතුවෙන් වඳුරා තරමක සුවයක් ලැබීය   

මද වේලාවකින් වඳුරා එම ස්ථානයේ තිබූ කැලෑ පෙදෙසට ඉතා අපහසුවෙන් බිමින්  ගමන් කළේය.  අනතුරකින් අතකට තුවාල ලබා වඳුරකු  ඉතා අපහසුවෙන් සිටින බව  බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ   සභාපති දේවේන්ද්‍ර  පෙරේරා මහතාට දැන ගැනීමට ලැබීමත් සමගම වහා ක්‍රියාත්මක වූ  සභාපති වරයා    වඳුරා  ආරක්ෂිතව රැගෙන යාම සඳහා කූඩුවක් සහ වාහනයක්  එම ස්ථානයට එවා  වඳුරා වැඩිදුර ප්‍රතිකාර සඳහා  පශු වෛද්‍යවරයකු වෙත  යොමු කිරීමට පියවර ගත්තේය.

වඳුරන් දෙදෙනකු තප්පර කීපයක් තුළදී තුළ දී අවස්ථා දෙකකදී  සිය ජීප් රථයේ ඉදිරිපස ගැටුණ ද එහි   රියදුරා නොනවත්වා සිය රථය ධාවනය කළ අවස්ථාවේදී  මිනිසත්කම පෙරදැරි කරගෙන වඳුරන් වෙනුවෙන් ඉදිරිපත්වූ  මේ දිරිය, ගුණයහපත්  දියණියට අප සමාජයේ ප්‍රණාමය හිමි විය යුතුය