(සිරංගිකා ලොකුකරවිට)
කොරෝනා ආසාදිත බවට තහවුරුකරගත් කාන්තාවක, කඩවත සිට ගාල්ලට පැමිණි අධිවේගී මාර්ග බස් රථයක ගමන් ගත් 35 දෙනකුට ඉදිරිපත්වන ලෙස කොතෙකුත් ඉල්ලීම් කළ ද මේ දක්වා කිසිවෙකු ඉදිරිපත් නොවීම බරපතල ගැටලුවක් බව බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ලසන්ත උබේසේකර මහතා පවසයි.
මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්තශාලාවේ සේවය කළ කාන්තාවක් පසුගිය ඔක්තෝබර් 04 වැනි ඉරිදා කඩවත සිට ගාල්ල බලා ධාවනය වූ අංක NB – 7323 දරණ බසයෙන් ගාල්ලට පැමිණ තිබේ. එම බස් රථය කඩවතින් ගමන් ආරම්භ කර ඇත්තේ උදෑසන 6.30ට බව ද අනාවරණය වී ඇත. ගාල්ලේ වටරැක ප්‍රදේශයට පැමිණි ඇය කොරෝනා ආසාදිතයකු බව තහවුරු වී ඇති බැවින් මේ වනවිට රෝහල්ගත කර ප්‍රතිකාර ලබමින් සිටියි.
ඇය සමග බස් රථයේ පැමිණි පිරිස සමීප ස්පර්ශකයන් බැවින් ඔවුන්ට ඉදිරිපත්වන ලෙස ඉල්ලීම් කර ඇතත් මෙතෙක් කිසිවෙකු ඉදිරිපත් වී නැතැයි වෛද්‍ය උබේසේකර මහතා පැවසීය. මේ දක්වා ඉදිරිපත් වී ඇත්තේ බසයේ රියදුරු හා කොන්දොස්තර මහතා පමණි. ඔවුන් දෙදෙනා නිරෝධායනයට යොමු කර ඇත.
අනෙක් මගීන් 35 දෙනා මෙතෙක් සෞඛ්‍ය අංශ වෙත ඉදිරිපත් නොවීම බාහිර සමාජයට බරපතල ගැටලුවක් වන බව ද වෛද්‍ය උබේසේකර මහතාගේ අදහසයි. එබැවින් ඔවුන් ගැන තොරතුරක් දන්නේ නම් ළඟම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයකට හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුට හෝ දැනුම් දෙන ලෙස සෞඛ්‍ය අංශ ඉල්ලා සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බස්වල යාමේ භයනකකම පේනවා නේද? ඇමතිවරු, මන්ත්‍රීවරු ඉහළ නිලධාරීන් කවදාවත් බස් වල යන්නේ නෑ. ඒ අයට මේ අවදානම පෙනෙන්නේ සහ දැනෙන්නේ නෑ. ඒ නිසයි රටේ ඇඳිරි නීතිය නොදා තව බෝවෙන්න හරින්නේ.