(නිමන්ති රණසිංහ)

අධිකරණ නියෝග නොතකමින් ගාලු මුවදොර බණ්ඩාරනායක පිළිරූව ඉදිරිපිට රැඳී සිටියදී කොටුව පොලිසිය අත්අඩංගුවට ගත් අරගලකරුවන් සිව් දෙනකු ලබන 29 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද 26 නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ගල්කිරියාගම, පදිංචි කෝරලේ වල්පිටගේ ඒකනායක සරත් ධර්මසේනගේ රෝහණ කුමාර,   කොළඹ 07 පදිංචි රණසිංහ ආරච්චිගේ චානක මධුශංක,  ගම්පහ පදිංචි චන්දාදාස ඩික්සන්, කොළඹ 09 පදිංචි මොහොමඩ් සහරාන් සුම්රි යන අයවළුන් ය.

ගාලු මුවදොර පිහිටි බණ්ඩාරනායක පිළිරුව අබියස සිට මීටර 50ක්  ඇතුලත රැඳී සිටීම තහනම් කරමින් නියෝගයක් කොළඹ කොටුව අධිකරණය මගින් නිකුත් කර තිබුණේ ඉකුත් (20) වැනිදාය. අධිකරණය එම නියෝගය නිකුත් කරනු ලැබුවේ කොටුව පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීමක් ප්‍රකාරව ය.

ඒ අනුව අධිකරණ නියෝග නොතකමින් එම ස්ථානයේ රැඳී සිටි අරගලකරුවන් සිව්දෙනෙකු  පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඉකුත් 24 වෙනිදා ය.