විනීතා එම් ගමගේ

බලහත්කාරයෙන් අතුරුදන් කරවීම් වලින් සියලූ තැනැත්තන් ආරක්ෂා කිරීම් සඳහා වූ ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත 21වැනිදා පාර්ලිමේන්තුවට ගෙන එන්නේ නැතැයි ආණ්ඩුව කරන ප‍්‍රකාශයෙන් හැඟෙන්නේ එය ඉවත් කර නොගත් අතර අනාගතයේ දී යළි ඉදිරිපත් විය හැකි බව යැයි මව්බිම වෙනුවෙන් වෘත්තිකයෝ සංවිධානයේ සභාපති, ශ්‍රී ලංකා නිති විද්‍යාලයේ හිටපු විදුහල්පති ජනාධිපති නීතිඥ ආචාර්ය ඩබ්ලිව්.ඩී. රොද්‍රිගු මහතා ප‍්‍රකාශ කළේය.

අද හෙට හෝ වෙනත් දිනයක ගෙන ආවත් මේ පනතින් සිදුවන්නේ රටට හානියක්. විශේෂයෙන් යුද විරුවන්ට තර්ජනයක් බව නොකියා බැරියැයි ද රොද්‍රිගු මහතා කීය.

මව්බිම වෙනුවෙන් වෘත්තිකයෝ සංවිධානයේ සභාපතිවරයා මේ අදහස්  පළ කළේ විද්වත් වෘත්තිකයන්ගේ සංගම් ශාලාවේ අද (19) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. මව්බිම වෙනුවෙන් වෘත්තිකයෝ සංවිධානය විසින් කැඳවා තිබු මාධ්‍ය හමුව ඇමතූ රොද්‍රිගු මහතා මෙසේ ද පැවැසීය. 

‘‘මේ ජාත්‍යන්තර පනතට අස්සන් කරල තියෙන්නේ රටවල් 96 යි. එයිනුත් අපරානුමත කරල තියෙන්නේ 57 ක් විතරයි. අස්සන් කළ පළියට රටක් පාර්ශවකරුවෙකු වෙන්නේ නැහැ. එය අපරානුමත කර ඊළඟට ඒ සඳහා වූ පනතක් ගෙන එන්න  ඕනැ. ශ්‍රී ලංකාව මේ වනවිට මෙම සම්මුතියට අස්සන් කරල අපරානුමත කරල තියෙන නිසා අපේ රට පාර්ශවකරුවකු වෙලා අවසන්. මේ සම්මුතියට 2007 දි අස්සන් කරපු ඉන්දියාව මේ වන තුරුත් අපරානුමත කළේ නැහැ. මහා බි‍්‍රතාන්‍යය හා ඇමෙරිකාව මේ වන තුරු අස්සන් කළේ වත් නැහැ. තමන්ගේ රට වෙනුවෙන් වාසි දේ තෝරාගත  යුතුයි. මේ රටවල් සම්මුතියට අස්සන් නොකළේ එයින් තමන් ගේ රටට සිදුවිය හැකි යම් අවාසියක් වේවි  කියන සැකයටයි‘‘