(සුජිත් හේවාජුලිගේ )

තනතුරු ලබාගෙන ආණ්ඩුවට සම්බන්ධවූ පිරිස පක්ෂයට යළි එක් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් තවත් සාකච්ඡා වටයක් අද(24) ආරම්භ කරන බව එම පක්ෂ ආරංචි මාර්ග වලින් පැවසේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡාවට පක්ෂයේ විනය මණ්ඩලයේ සාමාජිකයෝද සහභාගි වෙති.

තනතුරු ලබාගෙන ආණ්ඩුවට සම්බන්ධවූ පිරිස යළි එක් කර ගැනීම සඳහා මෙයට පෙරද සාකච්ඡා වට කීපයක් පැවැත්වුවද ඒවා සාර්ථක නොවීය.

තනතුරු ලබාගෙන ආණ්ඩුවට සම්බන්ධවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව අටකි. නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, රංජිත් සියඹලාපිටිය, ලසන්ත අලගියවන්න, ශාන්ත බණ්ඩාර, ආචාර්ය සුරේන් රාඝවන්, ජගත් පුෂ්පකුමාර සහ චාමර සම්පත් දසනායක එම අට දෙනා වෙති.

මින් නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර යන මහත්වරුන් කැබිනට් අමාත්‍යධූර හොබවන අතර සෙසු පිරිස රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස කටයුතු කරති.