ශ්‍රී  ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන්  ගුවන් සමාගමේ  නව සභාපතිවරයා ලෙස පත් වු    අජිත් ඩයස් මහතා  කොළඹ පිහිටි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කාර්යාලයේදී  වැඩ බාරගත්තේය.

අජිත් ඩයස් මහතා බ්‍රැන්ඩික්ස් ආයතනයේ සම නිර්මාතෘවරයෙක් මෙන්ම අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කර ඇත. මේ වන විට බැරිස්ටා ශ්‍රී ලංකා මෙන්ම ජුවලෙක්ස් ආයතනයන්හි සභාපති ලෙසද කටයුතු කරන ඒ මහතා ඇගලූම් ක්ෂේත්‍රයේ වසර ගණනාවක අත් දැකීම් බහුල පුද්ගලයෙකි.

අජිත් ඩයස් මහතා වැඩ බාර ගත් අවස්ථාවට   වරාය හා නාවික අමාත්‍ය  අර්ජුන රණතුංග මහතා සහ ගුවන් සේවා රාජ්‍ය  අමාත්‍ය  ෆයිසර් මුස්තාෆා යන මහත්වරුන්ද එක්වූහ.

මෙහිදී අදහස් දක්වමින්  ගුවන් සේවා රාජ්‍ය   අමාත්‍ය  ෆයිසර් මුස්තාපා මහතා සඳහන් කළේ ඉදිරියේදී කිසිදු දේශපාලන බලපෑමකින් තොරව ගුවන් සේවයේ වැඩ කටයුතු සිදුකර ගෙන යාමට හැකියාව සලසන බවත් ගුවන් සමාගමේ ජ්‍යෙෂ්ඨ  නිලධාරීන්ගේ හා කාර්ය මණ්ඩලයේ තාක්ෂණික දැනුම සහ කැපවීම තුළින් සාර්ථකත්වයක් කරා  ගුවන් සේවාව ගෙන යාමට කටයුතු කල යුතු බවයි.

මෙම අවස්ථාවේදී අදහස් දක්වමින් වරාය හා නාවික අමාත්‍ය  අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ  කර සිටියේ වත්මන් රජය කිසිදු බලපෑමකින් තොරව ගුවන් සේවාවේ ප්‍රතිපත්ති සහ වෙළඳ අරමුණු සාක්ෂාත් කර ගනිමින් ඉලක්ක සම්පූර්ණ කර ගැනීම සඳහා කටයුතු යොදන බවයි.

මෙහිදී ගුවන් සේවයේ ජ්‍යෙෂ්ඨ  කළමණාකාරීත්වයෙන් අමාත්‍යවරයා  ඉල්ලා සිටියේ තම හැකි උපරිමයෙන් ගුවන් සේවාව ලාභ ලබන ආයතනයක් බවට පත්කිරීමට උත්සාහ ගන්නා ලෙසයි.

15 17