සිරංගිකා ලොකුකරවිට
පසුගිය කාලයේ මහා පරිමාණයෙන් ලබාගෙන ඇති ණය වෙනුවෙන් 2018 වර්ෂයට නියමිත පොළිය ගෙවීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සමස්ථ වාර්ෂික ආදායමවත් ප්‍රමාණවත් නොවන බවත් මේ හේතුව නිසා බදු නිදහස් කිරීම් අවම කර නව බදු පනත ක්‍රියාත්මක කිරීමට සිදුවූ බවත් දේශීය ආදායම් කොමසාරිස් අයිවන් දිසානායක මහතා අද (05) ගාල්ලේදී පැවසීය.
ඒ මහතා මෙසේ පැවසුවේ "බදු වගකීමක් නොව සමාජ යුතුකමක්" යන මැයෙන් උණවටුන සැවෙන්රෝ ගාඩ්න් හෝටලයේ පැවති නව ආදායම් බදු පනත පිළිබඳව බදුගෙවන්නන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණය අමතමිනි.
එහිදී අයිවන් දිසානායක මහතා මෙසේ පැවසීය,
"අපේ රටේ ජාතික ආදායමට දායකත්වය ලබාදෙන ප්‍රධානම ආදායම් මාර්ග තුන වන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව හා සුරාබදු දෙපාර්තමේන්තුවයි.
2018 ඇස්තමේන්තුවට අනුව රටේ සමස්ථ ආදායම රුපියල් බිලියන 2200යි. සමස්ථ වියදම රුපියල් බිලියන 2152යි. 2200ක් හම්බකරලා 2152ක් අපේ කෑම බීම හා රජයේ නඩත්තු වෙනුවෙන් වියදම් කළොත් ඉතුරුවෙන්නේ කීයද? නමුත් මේකෙ තියෙන අනිසි ප්රථිඵලය තමයි පසුගිය කාලෙ ගත්ත ණය වෙනුවෙන් මේ 2018 අවුරුද්ද තුළ ණය වාරිකය ලෙස රුපියල් බිලියන 1150ක් සහ ණය පොළිය ලෙස රුපියල් බිලියන රුපියල් බිලියන 852ක් ගෙවීමට සිදුවීම.
දේශීය ආදායම් දෙපාර්තමෙන්තුවේ 2018 වර්ෂයේ බලාපොරොත්තු වන ඉලක්කගත සම්පූර්ණ ආදායම රුපියල් බිලියන 792යි. නමුත් අපිට ණය පොළිය ලෙස රුපියල් බිලියන 852ක් ගෙවන්න වෙනවා කියන්නේ සමස්ථ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ආදායමම මදි අපි අරගෙන තියෙන ණය පොළිය ගෙවන්න. මේ නිසා අපි හැම කෙනෙක්ම ආදායමට සරිලන නිවැරදි බදු ගෙවලා අපේ යුතුකම ඉටු කලොත් මේ රට ණය වලින් ගැලවිලා සංවර්ධනය කරා ගමන් කරන ස්වාධීන රටක් වෙන්න පුළුවන්.
මෙහිදී අයිවන් දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේ පාසැල් සිසුවකු වෙනුවෙන් රුපියල් 47000ක් ද වෛද්‍ය ශිෂ්‍යයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ පහමාරක් ද ඉංජිනේරු ශිෂ්‍යයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ හතරක් ද රජය වාර්ෂිකව වියදම් කරන බවයි.
ලක්ෂ පහකට වඩා වැඩි වාර්ෂික ආදායමක් ලබන පුද්ගලයින් දේශීය ආදායම් කාර්යාලයට ගොස් ලිපි ගොනුවක් විවෘත කර ගෞරවණීය බදු ගෙවන්නකු බවට පත්වී රට වෙනුවෙන් තමන්ගේ යුතුකම ඉටුකළයුතු බව ද දේශීය ආදායම් කොමසාරිස්වරයා පැවසීය.
මෙම වැඩසටහන සඳහා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් නදුන් ගුරුගේ මහතා ඇතුළු දෙපාර්තමේන්තු නිලධාරීන් විශාල පිරිසක් ද පැමිණ සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ බදු මුදල් රටේ යහපතට පමණක් යොදවනවා නම් බදුත් ගෙවලා තව අතිනුත් කීයක් හරි දෙන්න බැරියැ. ඒ සල්ලි රට කරවන අය කාබාසිනිය කරනවා නම් මොන හිතකින්ද බදු ගෙවන්නෙ. ඉස්සෙල්ල ආණ්ඩු කරන අය ආදරශ්මත් වෙලා පෙන්වන්න, දූෂණය නාස්තිය අඩු කරලා. ඒකම ඇති ඔය ණය කන්දරාව ගෙවන්න. මිනිස්සුන්ට බෝනස් දෙන්නත් පුලුවන් වෙයි. මෙව්ව ඉතින් කෙරෙන වැඩ නෙමේ මේ සිරිලංකාවෙ.
එතකොට ඇමතිලට දෙන්න මුදල් තිබෙද?
චීනයෙන් ගිණි පොලියට ගත්ත ණය අපි ගෙවන්න ඕන නැහැ. ඒ ණය ගත්තේ රට සංවර්ධනය කරන්න නොවේ හොරකම් කරන්නයි
ඔව් ඉතින් දේසපාලුවෝ සමාජ යුතුකමක් හැටියට ණය කදු ගහනවා ජනතාව අපේ හොරා අපිට හොදා කියමින් ණය ගෙවීමේ සමාජ යුතුකම හරියට කරනවා! වැඩේ කියන්නේ අපිට ණය අරන් දෙන අය බලාගෙන ඉදිද්දී කෝටිපතියන් වෙන එකනේ! අවුලක් නැහැ ඔහොම යමු!
2018 ඇස්තමේන්තුවට අනුව රටේ සමස්ථ ආදායම රුපියල් බිලියන 2200යි. මේක කොහොමද ගණනය කරන්නේ. රේගු දෙපාර්තුමේන්තුවේ ආදායම කොහොමද ගණන් හදන්නේ? අප හැමදාම දකිනවා ගුවන්තොටුපොලින් මෙච්චර රත්රන් කිලෝ ගණන් අල්ලනවා කියල ඒවාට දඩ මුදල් ගහනවා. මේ මුදල් සහ රත්රන් වලට මොනවද වෙන්නේ? අපිට මේවා ගැන දැනගන්න ක්‍රමයක් නැද්ද? වසරකට විදෙස් ගතවන අයගෙන් අයකරන විදේශ සේවා ගාස්තු මොන ගිණුමටද යන්නේ? ලංකාවේ දැනට රථ වාහන කොපමණ තියනවද? මේවට වාර්ෂිකව නිකුත්කරන බලපත්‍ර වලින් ලැබෙන ආදායම මොන ගිණුමටද යන්නේ? දන්නා අය කියල දෙනවනම් ගොඩක් ස්තුති
දේශපාලකයන්, රාජ්‍ය නිලධාරීන් ගෞරවනීය සේවයක යෙදෙන්නේ නම් ජනතාව රට වෙනුවෙන් ගෞරවනීය බදු ගෙවන්නන් වීමට බොහෝ දුරට පසුබට වන්නේ නැත. මෙතුමා මේ ඉල්ලීම විශේෂයෙන් කළයුත්තේ ගෞරවනීය රාජ්‍ය පාලනයක් සඳහාය. දේශපාලකයන් කරන දේවල් දකිමින් ජනතාව ගෞරවනීයව බදු ගෙවන්නේ නම් ජනතාව මෝඩයන් විය යුතුය. පළමුව දේශපාලකයන් ගැන විශ්වාසයක් ජනතාවට තැබිය හැකි වියයුතුය.
පාලකයින් සහ අනිකුත් උසස් නිලධාරීන් යයි කියා ගන්නා සියලු දෙනාම තමන්ගේ දීමනා හැකිතාක් බදු රහිතව ලබාගෙන, සාමාන්‍ය මහජනයාට පමණක් සියලු බදු ගෙවන්නට යයි කීමේ සාධාරණයක් තිබේද? මෑතදී වෛද්‍යවරුන්ගේ ආදායමට බදු අය කරන්නට යන විට, වෛද්‍යවරුන්ගේ තර්ජන මැද ඒවා හකුලා ගත්තා. සෑම දෙනාටම එකසේ බලපවත්වන විනිවිද බදු ක්‍රමයක් රටේ ඇත්නම් මෙවැනි ප්‍රශ්නයක් පැන නොනගිනු ඇත.
වාර්ෂික ආදායම රුපියල් 500,000/= ක් කියන්නෙ මාසෙක ආදායම රුපියල් 41,667.66 යි . මේ වගේ ආදායමක් අරගෙන බදු ගෙවන්න තියා කන්නවත් පුලුවන්ද ?
ඇමති, මන්ත්‍රීවරුන්ගේ, රාජ්‍ය නිලධාරීන්ට පඩියට අමතරව කරන වියදම් අඩු කරන්න.
කරුණාකර මොහුගේ මේ තර්ජනයත් බලන්න......මොහු හිතන්නේ වාහනයක් තියන හැම කෙනාම අධිකලෙස ආදායම් ලබන අය කියා ... මේ යෝජනාව ගෙනාව මීහරක කවුද කියලත් මහාජනතාවට කියන්න
ඒ උනාට රටේ ජන්නධිපති නම් කියන්නේ මේ අවුරුදු 3 ට පැනපු සංවර්ධන පිම්ම 1948 සිට පැවැති කිසිම රජයකින් නොකළ තරම් විශාල එකක් කියල .
පාසැල් සිසුවකු වෙනුවෙන් රුපියල් 47000ක් ද වෛද්‍ය ශිෂ්‍යයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ පහමාරක් ද ඉංජිනේරු ශිෂ්‍යයෙකු වෙනුවෙන් රුපියල් ලක්ෂ හතරක් ද රජය වාර්ෂිකව වියදම් කරන බවයි. අපේ ළමයි පෞද්ගලික පාසැල් යනවනම් රුපියල් 47000ක් වාර්ෂිකව බදු ගෙවා ඇති හා සමානයි වෛද්‍ය /ඉංජිනේරු ශිෂ්‍යයන අපේ බදු වලින් ඉගෙන ගෙන රටට සේවයක් නොකර පිටරට යන විටදී ඔව්න් වෙනුවෙන් කල වියදම් අය කරගන්නවද ? මම දන්නේ නැති නිසා අහන්නේ ????
දැන් නය ගෙවන්න වෙන්නේ $ වලින්නේ . රුපියල දිගටම අවප්‍රමාණය වෙනවිට ගෙවිය යුතු $ ප්‍රමාණය වැඩි වෙනවා. එකට පළි බදු ගෙවන අපිද? රටක් ගෙනියන්න බදු ඕනේ .... නමුත් බදු වලින් නඩත්තු වෙන රට පාලන කරන උත්තමන්ලා, ඔව්න්ගේ නොහැකියාවන් අපේ පිටට යලි යලිත් පටවනවානම් අර උත්තමන්ලා ට ගෙවන නඩත්තු අපරාදේ කෝ ඔය කළමනාකරණය ? ඒ අයගේ පුටුව පරිස්සම කර ගන්න 365 දවසම උත්සහ කරනවා ඇර සේවයක් කරන්න කෝ වෙලාවක් නේද ?
ණය ගෙවන්න තව ණය ගම්මු.