2017 වසරේ වත්මන් ආණ්ඩුව පෙරළා දැමීම තම අරමුණ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  පැවසීයැයි බීබීසිය වාර්තා කරයි.

රාජපක්ෂ මහතා මේ බව කියා ඇත්තේ අද කොළඹ දී ලංකාවේ විදේශ වාර්තාකරුවන් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවට තුනෙන් දෙකක බහුතර බලයක් තිබුණත් වර්තමාන දේශපාලන තත්වය සලකා බැලීමේදී සියල්ල ඉදිරිකාලය තුළ වෙනස් විය හැකි බව හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව බීබීසිය වාර්තා කරයි.

ආණ්ඩුවේ එක්සත් ජාතික පාර්ශවය හා ශ්‍රී ලංකා නිදහස් පාර්ශවය අතර දැන් ගැටුම් ඇතිවෙමින් තිබෙන බව පැවසූ හිටපු ජනාධිපතිවරයා රටකට මෙලෙස ඉදිරියට යාමට නොහැකි බව  පෙන්වා දුන්නේය.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිවරයෙකුට බලයට පත්විය හැක්කේ වාර දෙකක් පමණක් බවට සීමාවක් පනවා ඇති නිසා ව්‍යවස්ථා වෙනසකින් තොරව හිටපු ජනාධිපතිවරයකුට රාජ්‍ය නායකයා විය නොහැකි නොවේදැයි මාධ්‍යවේදියෙකු විමසූ විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  කීවේ යළිත් රටේ රාජ්‍ය නායකයා වීමේ අදහසක් තමාට නොමැති බවයි.

රාජ්‍ය නායකයා නොවී තමාට රට පාලනය කළ හැකි බව ද රාජපක්ෂ මහතා කීවේය.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා යටතේ අගමැති පදවියට පත් කෙරුනොත් ජනාධිපතිවරයා සමග එක්ව වැඩකළ හැකි දැයි යොමු වූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් හිටපු ජනාධිපතිවරයා වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහට එම කාර්යය කළ හැකිනම් 1970 ගණන් වල සිට හොඳින් හඳුනන පුද්ගලයෙක් සමග තමන්ට වැඩ කළ හැකි බව සඳහන් කළේය.

එහෙත් එවැනි තත්වයක් උද්ගත වුනොත් සිදු වන්නේ තමන්ට අවශ්‍ය කොන්දේසි අනුව බවත් හිටපු ජනාධිපතිවරයා අවධාරණය කළේය.