ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයෙන් අගමැතිට වැඩි බලතල ලබාගැනීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කුමන්ත්‍රණයක් කර ඇතැයි චෝදනා කරන ජාතික හෙළ උරුමයේ මහ ලේකම් පාඨලී චම්පික රණවක මහතා එම උත්සාහය පරාජය කරන බව කියයි.

ජනපතිවරයා පඹයකු කරන සංශෝධන ගෙන ඒමට වික්‍රමසිංහ මහතා සැරසෙන බවත් තමා 19 වැනි සංශෝධනයට එරෙහිව ඇමැති මණ්ඩලයේදී කරුණු දැක්වීමෙන් පසුව අගමැතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට වෙනමම සංශෝධන ඉදිරිපත් කර ඇති බවත් එම සංශෝධන නීති විරෝධී බවත් ඔහු කියයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකදී දින 7කට කලින් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර මහජනතාවට දැනගන්නට සැලැස්විය යුතු වුවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන දන්නා දක්ෂ නීතිවේදියකුවන වික්‍රමසිංහ මහතා එම ශ්‍රී ලංකාවේ මුඛ්‍ය නීතිය උල්ලංඝනය කර ඇතැයිද ඔහු චෝදනා කරයි.

‘මේ වැඩේට අපි ඉඩදෙන්නෑ. ඉවත් කළ යුත්තේ ජනපති සතු හිතුවක්කාර බලතල පමණයි. 19 වැනි සංශෝධනය හා වික්‍රමසිංහ මහතා ඉන්පසුව උසාවියට ඉදිරිපත් කළ සංශෝධන අනුව වක්‍රාකාරව අගමැතිට බලතල ලැබෙනවා. රටකට නායකයන් දෙන්නකු ඉන්න බෑ. වික්‍රමසිංහ මහතා සම්මුති දේශපාලනයට එකඟ නොවී දරදඬු පියවරක් අනුගමනය කරන්නේ නම් ඩයිනෝසරයන්ට වූ දේ ඔහුට දේශපාලනයේදී සිදුවේවි‘ යනුවෙන් පෞද්ගලික රූපවාහිනී නාලිකාවකදී සෙනසුරාදා රාත්‍රියේ ඔහු කීවේය.

රණවක ඇමැතිගේ චෝදනා ප්‍රතික්ෂේප කරන රනිල් වික්‍රමසිංහ මහතා කියනුයේ තමා කිසිවක් අනවසරයෙන් සංශෝධනය නොකළ බවයි. ‘19 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ඇමැති මණ්ඩලයේ අනුමැතියෙනි. ඔහු ඒ බව දන්නවා. ඔහු මතු කළ ප්‍රශ්නවලට ජනපතිගේ ව්‍යවස්ථා උපදේශක ජනාධිපති නීතිඥ ජයම්පති වික්‍රමරත්න ඔහු සමගත් නීතිපති හා නීති කෙටුම්පත් නිලධරයන් සමගත් සාකච්ඡා කළා. ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළේ ඒ කෙටුම්පතයි. ඒ සම්බන්ධයෙන් එම කෙටුම්පතට මාගේ කිසිම සම්බන්ධයක් නෑ‘ යනුවෙන් වික්‍රමසිංහ මහතා සන්ඩේ ටයිම්ස් පත්‍රයට කියා ඇත.