නාලක සංජීව දහනායක
පාර්ලිමේන්තුවේ විපක්‍ෂනායක ධූරය බහුතර මන්ත‍්‍රී සංඛ්‍යාවක් සිටින තම කණ්ඩායමට ලබාදෙන්නයි ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 70 දෙනෙකුගේ අත්සන් සහිතව ඉදිරි දින කිහිපය ඇතුළතදී කතානායකවරයාට ලිපියක් බාරදීමට ඒකාබද්ධ විපක්‍ෂය අද (2) තීරණය කර ඇත.
ආණ්ඩුවෙන් ඉවත්වූ කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර ප‍්‍රියදර්ශණ යාපා මහතා විසින් අදළ යෝජනාව ඉදිරිපත් කර ඇති අතර එයට සියලූම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේම අනුමැතිය හිමිවී ඇත.
අමාත්‍යධූරවලින් ඉවත්වූ ශ්රී ලංකා නිදහස් පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම හා ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් කොළඹ, විජේරාම මාවතේ පිහිටි ඒ මහතාගේ නිල නිවසේදී අද (2) සන්ධ්‍යාවේ පැවැති සාකච්ඡාදී මෙම තීරණය ගත් බව ඒකාබද්ධ විපක්‍ෂයේ නියෝජිතයකු පැවසීය.
ඉදිරි දේශපාලන කටයුතු සඳහා අමාත්‍යධූරවලින් ඉවත්වූ ශ්රී ලංකා නිදහස් පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම සහභාගී කරවා ගැනීමට ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායමේ ඒකමතික අනුමැතිය මෙහිදී ලැබුණු බවද හෙතෙම සඳහන් කළේය.
එමෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වය යටතේ ඉදිරියේදී දේශපාලන කටයුතු සිදුකිරීමට එම මන්ත‍්‍රී කණ්ඩායම මෙහිදී එකඟතාවයකට පැමිණි බවද එම නියෝජිතයා පැවසීය.
මෙම කණ්ඩායම් දෙකම එකට එක්ව සාකච්ඡාවකට සහභාගී වුයේ පළමු වරටය. අදාළ සාකච්ඡාව සඳහා ඒකාබද්ධ විපක්‍ෂයේ සියලූම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සහභාගීවූ අතර අමාත්‍යධූරවලින් ඉවත්වූ ශ්රී ලංකා නිදහස් පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන දයාසිරි ජයසේකර හා එස්.බී දිසානායක යන මහත්වරුන් සහභාගීවී නැත.
එමෙන්ම විපක්‍ෂ නායක ධූරය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් බාරගත යුතු බවට චන්දිම වීරක්කොඩි මහතා පවසා ඇති අතර තමන් තනතුරු බලාපොරොත්තුවෙන් දේශපාලනය නොකරන බවත් සුදුසු වේලාවේදී සුදුසු තීරණ ගන්නා බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසා ඇත.
මෙම සාකච්ඡාවට පෙර හිටපු ජනාධිපතිවරයා හා ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම අතර වෙනමම හමුවී සාකච්ඡා කර තිබේ.
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්‍ෂකයා පිළිබඳව කතා කිරීමට යෑමෙන් අනවශ්‍ය ප‍්‍රශ්න ඇතිවන බව එහිදී හිටපු ජනාධිපතිවරයා විසින් මන්ත‍්‍රී කණ්ඩායම දැනුවත් කර ඇත.
ඉදිරි ජනාධිපතිවරණ අපේක්‍ෂකයා පිළිබඳව අර්බුධයක් නැති බවත් එම ප‍්‍රශ්නය තම පවුලේ සාමාජිකයන් විසින් විසඳාගෙන තිබෙන බවත්, සුදුසු වේලාවේදී ඒ පිළිබඳව හෙළිකරන බවත් හිටපු ජනාධිපතිවරයා එහිදී පවසා ඇත.
එම සාකච්ඡාවෙන් අනතුරුව ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම හා අමාත්‍යධූරවලින් ඉවත්වූ ශ්රී ලංකා නිදහස් පක්‍ෂ මන්ත‍්‍රී කණ්ඩායම අතර සාකච්ඡාව ආරම්භවී ඇත.
පස්වරු 6.00ට පමණ ආරම්භවූ මෙම සාකච්ඡාව පැයකට ආසන්න කාලයක් ඉතා සුහදව පැවති අතර සාකච්ඡාව අවසානයේදී හිටපු ජනාධිපතිවරයා විසින් සියලූම මන්ත‍්‍රීවරුන්ට කැවුම්, කොකිස් හා හැලප සහ කිතුල් හකුරු සමඟ බෙලිමල් වතුර සංග‍්‍රහක්ද පවත්වා ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන බොරුද? මොනවද අලුතෙන් සාකච්චා කරන්න තියෙන්නේ? මේ ගොල්ලෝ පහුගිය අවුරුදු තුන පුරාම කලේ දවසක් නෑර එකාබද්ධයේ සගයෝ එක්ක කතාකරගෙන ඒගොල්ලෝ කියන විධිහට කටයුතු කරපු එකනේ. දැන් කියන්නේ ශ්රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් අයින් වෙලා වෙනම කටයුතු කරන්න ඕනෑ කියලයි. ඒ ගොල්ලෝ සේරම කවදත් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ලු. නමුත් නායකයා මහින්ද රාජපක්ෂලු. අපි කියවලා තියෙන්නේ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා මෛත්‍රීපාල සිරිසේන කියලයි. මේ නොකියා කියන්නේ මහින්ද රාජපක්‍ෂ ශ්රී ලංකා නිදහස් පක්‍ෂ නායකයා බවට පත් කලයුතුයි කියන එකනේ. වහෙන් හොරෝ මොකටද? මහින්ද මහත්තයා පක්‍ෂ සාමාජිකත්වය අත් අරින්නේ නැත්තෙත් ඒකනේ. අපි දන්නේ නැද්ද? සිරිසේන මහත්තයෝ. පක්ෂයේ තීන්දු තීරණ වලට විරිද්ධව කටයුතු කරන අයට විනයානු කුලව කටයුතු කිරීමට තවත් ප්‍රමාද කලොත් ඉල්ලන් කන්නයි වෙන්නේ.
එ්කාබද්දෙටත් බුදු සරණයි දෙවිපිහිටයි ....යු.ඇම්.පි යේ ජය නියතයි .
එකාබද්දයේ අවසානය .....ද ...?
මේ හැම දෙයකටම මුල පන නැති කම.
ඒකාබද්ධයට මලබද්ධය හැදිලා දගලනවා......
අවලංගු වෙච්ච කාසි වගේ වුණාට පරණ කාසි එකතු කරන උදවිය ඉන්න නිසා ඔන්න ඔහොම කාට හරි හේත්තු වෙලා ඉන්න. එකාබද්දේ ඉන්න කවුරුත් වගේ එහෙම අනාත වෙලා චාන්ස් එකක් ලැබෙයිදෝ කියල හේත්තුව දාගෙන ඉන්න අය තමයි.
ලංකාවේ ඉන්න ජරාම දේශපාලන සෙට් එක ...මුන් දිනන පැත්තෙට පැන පැන රට කනවා ... මුන්ට මිනිස්සු ආයෙත් ඡන්දෙ දෙන්නේ නෑ.........ගහල එල්වන්න ඕන ...