(අංජුල මහික වීරරත්න)

ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා හිමිවූ 59 වන කණ්ඩායමට ගුවන් ටිකට්පත් ප්‍රදානය කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී අද සිදුවිය.

මෙි අනුව දොලොස් දෙනකුගෙන් යුත් මෙම කණ්ඩායම ලබන 5 වැනිදා  දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

2022 අප්‍රේල් 28 දින සිට මේ දක්වා ශ්‍රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින් 362 දෙනකු ඊශ්‍රායලයේ රැකියා සඳහා පිටව ගොස් තිබෙන අතර, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ඊශ්‍රායලයේ ජනගහන හා සංක්‍රමණ අධිකාරිය අතර 2020 වසරේ ඇතිකර ගත් ගිවිසුම අනුව ශ්‍රි ලාංකිකයින්ට ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා හිමිවේ.

එම අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පමණක් ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා ශ්‍රී ලාංකිකයින්ට හිමිවන අතර, ඊශ්‍රායලයේ රැකියා ලබාගැනීම සඳහා කිසිදු බාහිර පුද්ගලයකුට මුදල් හෝ ගමන් බලපත්‍රය ලබාදීමෙන් වලකින මෙන් කාර්යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.