(ඩයනා උදයංගනී සහ මුදිතා දයානන්ද)
කොළඹ වරාය නගරය පනතක් මගින් චීනයට පවරාදීමට රජය උත්සාහ කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
එම පනතෙහි ඇතැම් කොටස් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත්, එය ඉතා භයානක එකක් බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
රනිල් වික්‍රමසිංහ මහතා හම්බන්තොට වරාය ලබාදුන්නේ ගිවිසුමක් මගින් වන අතර වරාය නගරය පනතක් හරහා චීනයට පවරාදෙන්නට යාම හම්බන්තොට වරාය යෝජනාවට වඩා භයානක එකක් බව ද මන්ත්‍රීවරයා පැවසීය.
යහපාලන රජය සමයේ හම්බන්තොට වරාය විකුණද්දීත් තමා එයට විරුද්ධ වූ බව කී රාජපක්ෂ මහතා එහි එක් ප්‍රතිඵලයක් ලෙස එක්සත් ජාතික පක්ෂය නැත්තනට නැති වූ බව ද කීවේය. විජයදාස රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ නාරාහේන්පිට අභයාරාමයේදී අද (15) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය.
'' අපේ රටට සිතියමක් තිබෙනවා. අපේ රට කියන්නේ පරිපාලන දිස්ත්‍රික්ක 25 ක් හා රට වටා ඇති ජල තීරයයි. වරාය නගරය හරහා අපේ ජල තීරයෙන් අක්කර 1100ක් ගොඩබිමක් වූ පසු එය අපේ රටේ ගොඩබිමේ කොටසක්. මේ පනතට අනුව එම ගොඩකල අක්කර 1,100 ශ්‍රී ලංකාවට, බස්නාහිර පළාතට හෝ කොළඹ දිස්ත්‍රික්කයට අයිති නෑ. මේ පනතෙන් එය පාලනය කරන්න කොමිසමක් හදන්න යනවා. කොමිසම කටයුතු කරන්නේ චීන සමාගමේ අවශ්‍යතා අනුවයි. රටේ ක්‍රියාත්මක පනත් ගණනාවක් වරාය නගරය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්නේ නෑ.
දේශීය ආදායම් පනත ඇතුළු බදු පනත් 14න්ම මෙම කොටස මුදා හැර තිබෙනවා. පාර්ලිමේන්තුවටත් මේ සම්බන්ධයෙන් කටයුතු කළ නොහැකි අතර එහි වැටුප් ගෙවන්නේත් විදේශ මුදල් ඒකකයකින්. එහි ගොස් යමක් මිලදී ගතහොත් අපි ඒ වෙනුවෙන් බදු ගෙවිය යුතුයි. මෙය සම්පූර්ණයෙන්ම වෙනත් රටක් හා සමාන වෙනවා. අපි මෙයට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ගවලට යන්නට තිරණය කර ඇත්තේ ඒ නිසයි.
නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝද අදහස් දක්වමින් මෙසේ කීය.
වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව තම සංවිධානය ද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද පෙත්සමක් ගොනු කළා.
තම සංවිධානය ඉදිරිපත් කළේ එම පනතට එරෙහි පහළොස්වැනි පෙත්සම බවද උන්වහන්සේ සඳහන් කළහ.
මෙම පනත මගින් වරාය නගරය ලංකාවේ කොටසක් ලෙස බස්නාහිර පළාතේ සිතියමට ඇතුළත් නොවන බවද දැනට රට තුළ ක්‍රියාත්මක වන පනත් අටක් වරාය නගරය තුළ ක්‍රියාත්මක වීම වැළැක්විමෙන් එය චීන කොළණියක් බවට පත්වන බවද ආනන්ද හිමියෝ සඳහන් කළහ.
COMMENTS
ඇමති කමක් ලැබුනු අය නම් ඔය වගේ කතා කරන්නේ නැහැ.
තුනෙන් දෙක දීපු අයට දැන් සැපද?
මේක හැදුවේ චීනේ නම් අපිට මොන අයිතියක් ද? කොහොමත් මේක අයිති චිනේට නේ
වැඩේ නම් වැරදි තමයි... ඒ වුණත් චීනෙන් ගත්තු ණය ගෙවන්න තියන අඩු තරමින් ඒ නගරයේ පාරවල් වලට ලයිට් දාන්න විදුලි බිල ගෙවන්නත් සල්ලි නැතිනම් වෙන මොනවා කරන්න?
හාමුදුරුවනේ රාජපක්ෂවරුන්ලා රට ද්‍රෝහියන් සේ වැඩ කරනවා දැන් එය ඔප්පු වෙලා හමාරය
රජයේ දේපල විකුණනවා කියලා කිබුල් කඳුළු හලලා ජනතාව රවටලා ඡන්ද ගන්නවා. ආවාට පස්සේ හිරිකිතක් නැතුව ඔක්කෝම විකුණනවා
දැන් සැපද...............???????
කතා දෙකක් එපා කෙලින්ම විරුද්ධ වෙන්න
රට රකින අපේ මිතුරා... මව් බිමට කෙලින් (න) සැමදා... රට රකින කෙනෙක් වේ නම්... ඒ ඔබයි උතුම් මිනිසා...
කළින් ආණ්ඩුවේ ඇමැතිකමක් ගන්න හිරිකිතයි කීව අපිට මතකයි සතියක් ගියේ නැහැ. අධ්‍යාපන ඇමැති වශයෙන් දිවුරුම් දුන්නා මතකයි.
රාජපක්ෂ මහතෝ, අපි චීනාට දුන්නේ අක්කර ගණනක මුහුද පමණයි. එය ගොඩකර වෙළඳ නගරයක් කිරීමේ ඩොලර් මිලියන ගණනක වියදම් දැරුවේ චීන රජයයි. එසේ ගොඩනගපු වෙළඳ නගරයේ පාලනයට නීති පද්ධතියක් ඕනේ නේද? අපේ රටේ නීතිය කොල්ල බල්ලා අනුව වෙනස්වෙන බව ඔබත් දන්නවා, අපිත් දන්නවා, චීනත් දන්නවා. හෙල්මට් නැතුව යන හම්බයාගේ ඔලුවට හෙල්මටය ඔබන්න බැරි නීති වලින් මේ වෙළඳ නගරය පාලනය කරන්න බැරිබව චීනා දන්නවා, අපිත් දන්නවා. එසේ නම් නගරය පාලනය වෙන්න අලුත් නීති පද්ධතියක් ඕනේ නේද? එය වෙළඳ නගරය අයිතිකරුවන්න්ට වුවමනා විදිහට හැදෙනවා මිස අපිට ඕනේ විදිහට කෙරෙන්නේ නැහැ නේද? අනික ඕවා තීන්දු වෙන්න ඇත්තේ වෙළඳ නගරය හදන්න පළමුව මෙපමණ කලක් ඔබලා ඔය ගැන දැනගෙන සිටියේ නැද්ද?