(අංජුල මහික වීරරත්න)

ආර්ථික, අධ්‍යාපන, සෞඛ්‍ය, සංචාරක, ආයෝජන සහ වෙළෙඳ ක්ෂේත්‍රයන්හි මෙන්ම විශේෂයෙන් බලශක්ති සුරක්ෂිතතාව සහ වරාය සංවර්ධනයට අදාළ ඉන්දු -ලංකා සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අපේක්ෂා කරන බව ඉන්දීය උප ජනාධිපති ශ්‍රී සී.පී. රාධක්‍රිෂ්ණන් මහතා ජනාධි‍පති අනුර කුමාර දිසානායක මහතා හමුවේ අද (19) පැවැසීය.

මෙරට දෙදින නිල සංචාරයක නිරත ඉන්දියා උප ජනාධිපති ශ්‍රී සී.පී. රාධක්‍රිෂ්ණන් මහතා සහ ජනාධි‍පති අනුර කුමාර දිසානායක මහතා අතර ද්විපාර්ශ්වික සාකච්ඡාව ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

ජනාධිපති කාර්යාලය වෙත පැමිණි ඉන්දීය උප ජනාධිපතිවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර ඉන්දියානු උප ජනාධිපති ධුරයට පත්වීම පිළිබඳවද ශ්‍රී සී.පී. රාධක්‍රිෂ්ණන් මහතා වෙත සිය සුබපැතුම් එක් කළේය.

ශ්‍රී ලංකාවේ සිදු කරන තම ප්‍රථම නිල සංචාරය මෙය බව මෙහිදි සඳහන් කළ ඉන්දියානු උප ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේදී හිමි වූ විශේෂ පිළිගැනීම සහ ආගන්තුක සත්කාර පිළිබඳවද සිය ස්තූතිය පිරිනැමීය. අනතුරුව නායකයන් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරණු අතර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලින මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳ එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

ඉන්දීය රජයේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘති මෙන්ම දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ප්‍රදේශ වෙනුවෙන් ලබා දුන් ඇමෙරිකානු ඩොලර් මිලියන 450ක පැකේජය යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.