(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවේ ඩිජිටල් පද්ධති වලට අනවසරයෙන් ඇතුළු වී සංවේදී තොරතුරු සොරකම් කිරීමේ අවදානමක් පවතින හෙයින් ඒ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතු බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SRILANKA CERT) පාර්ලිමේන්තු ප්‍රධානීන්ට දැනුම් දී ඇතැයි ජාතික විගණන කාර්යාලයේ අලුත්ම වාර්තාවක සඳහන්වේ.

මෙයට අමතරව පාර්ලිමේන්තුවේ ඩිජිටල් පද්ධති වලට අනවසරයෙන් ඇතුළුවී ආයතනයේ මෙහෙයුම් කටයුතුවලට බාධා පැමිණවීම, වෙබ් අඩවිවල අන්තර්ගතය විකෘති කරමින් ආයතනයේ කීර්ති නාමයට හානි කිරීම වැනි අනර්ථ ක්‍රියා සිදුවීමේ අවදානමක් පවතින බවද එම සංසදය වැඩිදුරටත් දැනුම්දී ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පසුගිය වසරේදී පාර්ලිමේන්තුවේ තොරතුරු හා සයිබර් ආරක්ෂණය සම්බන්ධයෙන් විශේෂ ඇගයීමක් කර ඇත. එහිදී පරීක්ෂා කෙරුණු කරුණු 56ක් අතුරින් 46ක අවදානම ඉතා ඉහළ මට්ටමක පවතින බවට කරුණු වාර්තා කර ඇතැයි එම වාර්තාවේ දැක්වේ.

ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) යනු ශ්‍රී ලංකාවේ සයිබර් ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා පිහිටුවා ඇති ප්‍රධානතම ජාතික මධ්‍යස්ථානයයි. එය සයිබර් තර්ජන මැඩපැවැත්වීම, හදිසි පරිගණක සහ ජාල ආරක්ෂණ ගැටලු විසඳීම සහ මහජනතාව දැනුවත් කිරීම යනාදී කටයුතුවල නියෙලී සිටී.

මේ තොරතුරු සඳහන් වන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 2025 වාර්ෂික කාර්ය සාධන වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.

කළමනාකරණ දුර්වලතා යන ශීර්ෂය යටතේ එහි මේ පිළිබඳව තොරතුරු වාර්තා කර ඇත.

මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තු ප්‍රධානියකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එවැනි අවදානම් වැළැක්වීමට විවිධ ක්‍රියාමාර්ග දැනටමත් ගෙන ඇති බවයි.