ඇමෙරිකාවේ මැදිහත් වීමෙන්, ඊශ්‍රායලය සහ ලෙබනනය අතරේ සාම සාකච්ඡා වොෂින්ටන් අගනුවරදී පැවැත්වුණු නමුත්, එය පැහැදිලි එකඟත්වයකින් තොරව අවසන් විය.

සාකච්චා මෙහෙයවීම කළේ ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ ඇතුළු ට්‍රම්ප් පරිපාලනයේ නියෝජිත කණ්ඩායමය. සාකච්ඡා සඳහා ලෙබනන සහ ඊශ්‍රායල තානාපතිවරු සහභාගී වූහ.

ඊශ්‍රායලය, ලෙබනනයට පහර දෙන්නේ ලෙබනනයේ ක්‍රියාත්මක හිස්බුල්ලා සටන්කාමීන් නිසාය. හිස්බුල්ලා සංවිධානය දේශපාලනික අංශයකින් සහ සන්නද්ධ අංශයකින් සමන්විතය. හිස්බුල්ලා සංවිධානයට සහාය සහ අනුගහය දෙන්නේ ඉරානයයි.

ලෙබනනයේ මූලික අභිප්‍රාය කලාපය තුළ කඩිනම් සටන් විරාමයක් තහවුරු කර ගැනීම වුවද, ඊශ්‍රායලය අවධාරණය කරන්නේ හිස්බුල්ලා සන්නද්ධ කණ්ඩායම නිරායුධ කිරීම සිය ප්‍රධාන ඉලක්කය බවය. හිස්බුල්ලා සංවිධානය ආයුධ බිම තැබීම ප්‍රතික්ෂේප කරයි.

1993 වසරෙන් පසුව දෙරට අතර සිදුවන පළමු සෘජු ද්විපාර්ශ්වික සබඳතාවය වීම විශේෂත්වයක් වුවද, විසඳුමක් කරා යන මාවත ඉතා අසීරු වී තිබේ. විශේෂයෙන්ම හිස්බුල්ලා සංවිධානය මෙම සාකච්ඡා "ඵල රහිත" උත්සාහයක් ලෙස හඳුන්වා දෙමින්, වහාම ඉන් ඉවත් වන ලෙස ලෙබනන රජයට බලපෑම් කරමින් සිටියි. ඔවුන්ගේ මෙම විරෝධය හේතුවෙන් සාකච්ඡා සාර්ථක කර ගැනීම දැඩි අභියෝගයක් වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පවසති.