(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

සාක්ෂිකරුවන්  ආරක්ෂා කිරීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් සියලු ම දෙනා නිදහස් කර තිබියදීත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ ශ්‍රී රංගා මහතා මාස අටක් තිස්සේ  බන්ධනාගාරගතව සිටින බව පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ දී අද (20) පැවසීය.

සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනතට කතානායකවරයා අත්සන් තබා තිබෙන බව කී මන්ත්‍රීවරයා එම පනතට අනුව අභියාචනාධිකරණයෙන් ඇප ලබා දෙන්නට නියමිත අයකුට මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබා ගැනීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්නට හැකියාව තිබෙන බව සඳහන් කළේය.

නමුත් ශ්‍රී රංගා මහතා එම ඇප ලබා ගැනීමේ ක්‍රියාවලියට මහේස්ත්‍රාත් අධිකරණයට ගිය විට අභියාචනාධිකරණයෙන් ඇප ලබා ගත යුතු බව පවසන බවද අභියාචනාධිකරණයට ගියවිට මහේස්ත්‍රාත් අධිකරණයට යන්නැයි කියන බව ජයසේකර මහතා කීය.