(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

පාර්ලිමේන්තුව මැයි 19 සිට 22 දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම්  නීතිඥ හංස අබේරත්න මහතා පැවසීය.

නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතාගේ ප්‍රධානත්වයෙන් මැයි මස 08 වැනිදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව පාර්ලිමේන්තුව රැස්වන සෑම දිනකම පෙ.ව 9.30 - පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර ඇත. පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහා වෙන් කර තිබේ.

මැයි 19 අඟහරුවාදා  පෙ. ව 11.30 සිට ප.ව 5.00 දක්වා දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමට තීරණය වී ඇත. ඉන්පසු ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා විපක්ෂය විසින් ගෙනෙනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව තිබේ.

මැයි 20 බදාදා පෙ.ව 11.30 සිට ප.ව 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන යෝජනාව අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2025 වර්ෂය සඳහා නිකුත් කළ ආර්ථික සමාලෝචනය පිළිබඳ වාර්තාව සම්බන්ධයෙන් සභාව කල් තැබීමේ විවාදය පැවැත්වීමටත් මෙහිදී තීරණය විී ඇත.

මැයි 21 බ්‍රහස්පතින්දා පෙ.ව 11.30 සිට ප.ව 5.30 දක්වා ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි ත්‍රිත්වයක් (අංක 2481/02, 2482/08 සහ 2482/12 දරන අතිවිශේෂ ගැසට් පත්‍රවල පළ කරන ලද) සහ විසර්ජන පනත යටතේ යෝජනා සම්මතයන් නවයක් (2026.04.30 දිනැති පාර්ලිමේන්තුවේ අංක 3 දරන න්‍යාය පුස්තකය සම්බන්ධ අංක 11 දරන පරිපූරකයේ ඇතුළත් කර ඇති) විවාදයට ගැනීමට නියමිතය.

මැයි 22 සිකුරාදා පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා කාලය අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් ශෝක ප්‍රකාශ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා කාලය වෙන් කර ඇත. ඒ අනුව  (මහාචාර්ය) තිස්ස විතාරණ, එස්.සී මුතුකුමාරණ, චන්ද්‍රදාස ගලප්පත්ති, නන්දන ගුණතිලක, ජනක් මහේන්ද්‍ර අධිකාරි සහ  කනගසබෙයි තම්මන්පිල්ලෙයි   යන අභාවප්‍රාප්ත හිටපු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් ශෝක යෝජනා ඉදිරිපත් කිරීමට නියමිතය.

අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇත.