(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ලබන වසරේ රජයේ වියදම් සඳහා ඉදිරිපත් කෙරෙන අයවැය විසර්ජන පනත් කෙටුම්පතේ වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ  ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙන් වන  අතර එම මුදල රුපියල් කෝටි 42271කි.

ඊට පසු වැඩිම මුදලක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් වෙන් කෙරෙන අතර එම මුදල කෝටි 41028කි.

විසර්ජන පනත් කෙටුම්පත අනුව ලබන වසරේ රජයේ වියදම් සඳහා රුපියල් කෝටි තුන් ලක්ෂ අසූ හය දහසකට වැඩි මුදලක් වැය කිරීමට රජය අපේක්ෂා කරයි.

ලබන වර්ෂයේ සේවා වියදම් සඳහා විධිවිධාන සැලසීමටවූ  විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳවූ  ගැසට් නිවේදනය  පසුගිය 27 වැනිදා නිකුත් කරනු ලැබීය.

මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට මේ සතියේ ඉදිරිපත් කිරීමට නියමිතය.

මීට අමතරව ජනාධිපති කාර්යාලය වෙනුවෙන් රුපියල් කෝටි 659 ක්ද අග්‍රාමාත්‍ය කාර්යාලය වෙනුවෙන්  කෝටි 115 කට වැඩි මුදලක්ද  උපරිමාධිකරණ වල විනිශ්චකාරවරුන් වෙනුවෙන් රුපියල් කෝටි 51 ක්ද වැය කෙරෙන බව  විසර්ජන පනත් කෙටුම්පතේ සඳහන් වේ.

මේ අතර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් රුපියල් කෝටි 85 ක්ද  පාර්ලිමේන්තුව වෙනුවෙන් රුපියල් කෝටි හාරසිය තිස් දෙකක්ද මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වෙනුවෙන් කෝටි 22494ක්ද විදේශ කටයුතු අමාත්‍යංශය වෙනුවෙන් කෝටි 1960ක්ද කෘෂිකර්ම අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් කෝටි 10041ක්ද වෙන් කෙරේ.

මීට අමතරව අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන්  කෝටි 23705 ක්ද සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව වෙනුවෙන්  රුපියල් කෝටි 5577 ක්ද මහජන ආරක්ෂක අමාත්‍යාංශය වෙනුවෙන් කෝටි 14073ක්ද වෙන් කෙරෙනු ඇත.