රාජ්‍ය ආයතනවල ජනතා සේවා කාර්යක්ෂම කරන්නැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දුන් බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. බත්තරමුල්ලේ සුහුරුපායේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවැති රැස්වීමක් අමතමින් අගමැතිවරයා ප්‍රකාශ කර තිබෙන්නේ සංවර්ධන ව්‍යාපෘති ප්‍රමාදවීමට ප්‍රධාන හේතුව අන්තර් ආයතනික සම්බන්ධතා දුරස්ථවීම බවද පෙන්වා දුන් බව අප ප්‍රවෘත්තියෙහි වැඩිදුරටත් සඳහන්ය.

අගමැතිවරයාගේ අවධානය ඉතා වැදගත්ය. එයට ප්‍රධාන හේතුව මෙරට රාජ්‍ය සේවාව සම්බන්ධයෙන් ජනතාව තුළ පවතින්නේ දුර්වර්ණ චිත්‍රයක් වන හෙයිනි.

අගමැතිවරයා පෙන්වා දෙන අන්දමට අන්තර් ආයතනික සබඳතා දුරස්ථවීම පමණක් නොව එකම ආයතනයක අංශ අතර පවතින සබඳතා ද ඉතාම දුර්වලය. ඇතැම් විට එක් ලිපිකරුවකුගේ නොපැමිණීම මුළු ආයතනයම අක්‍රිය වීමට හේතුවකි. මේ නිසා රාජකාරි කටයුත්තක් කර ගැනීමට රජයේ ආයතනයකට යාමට සිදුවීම ‘මුහුදු යාමක්’ ලෙස ඇතැමෙක් සලකති. ඒ නැවත කීයට නිවෙසට ඒමට සිදුවේදැයි සිතා ගත නොහැකි හෙයිනි.

රාජකාරි වේලාවන්හිදී සමස්ත කාර්ය මණ්ඩලයම මංගල උත්සවවලට හා වෙනත් අවශ්‍යතාවලට ආයතනයෙන් බැහැරව යාමේ සිද්ධි ඉකුත් සමයේ බහුලව වාර්තා විය. රජයේ ඇතැම් ආයතනවල කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා ජනාධිපතිවරයා හදිසියේම කළ ‘‘කඩා පැනීම්’’ ගැනද වාර්තා විය. රටේ ජනාධිපතිවරයාට එසේ හදිසි කඩා පැනීම් කිරීමට සිදුවීමෙන් පැහැදිලි වන්නේ දෙනු ලබන උපදෙස්, චක්‍රලේඛ, ආයතන සංග්‍රහ එලෙසින්ම ක්‍රියාත්මක නොවීම නිසා විය හැකිය. බොහෝ ආයතනවල ප්‍රධාන ගොඩනැගිල්ලේ ඉතා ප්‍රදර්ශනාත්මකව ‘‘දැක්ම’’ සහ ‘‘මෙහෙවර’’ සටහන් කර තිබුණද ඒවා ශිලා ලේඛනවලට පමණක් සීමා වූ ආයතන ද වේ.

රජයේ ඇතැම් සේවකයන් අකුරටම සිදු කරනු ලබන්නේ පැමිණීම සටහන් කිරීම හා පිටවීම සටහන් කිරීම පමණකැයි චෝදනාවකි. පැමිණීම හා පිටවීම අකුරටම සටහන් කරනු ලබන්නේ එය පඩිපත, නිවාඩු දින ගණන ආදිය සමග සම්බන්ධ හෙයිනි. එහෙත් පැමිණීම හා පිටවීම අතර ‘සේවාව’ සම්බන්ධයෙන් ඇතැම් සේවකයන් තුළ ඇත්තේ ඉතා වගකීම් විරහිත ආකල්පයකි. සේවා දායකයා පත්වන අපහසුතාව ආදිය සම්බන්ධයෙන් සේවකයා තැකීමක් නොකරන බව ඉතා පැහැදිලිය.

කොළඹ රාජ්‍ය ආයතනයකින් සේවා ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයා ඉතා දුර බැහැර ප්‍රදේශයක විය හැකිය. එහෙත් කලට වෙලාවට තම අවශ්‍යතාව ඉටු කර ගැනීමට නොහැකි වුවහොත් ඔහුට බස් නැවතුමේ රැය පහන් කිරීමට පවා සිදුවිය හැකිය. එමෙන්ම එම සේවාදායකයා යම් තැනක රාජකාරියක නිරතවන්නකු නම් ඔහු නිවාඩු දැමීම නිසා ඔහුගෙන් සේවා ලබා ගැනීමට පැමිණෙන ජනයා ද මහත් අසීරුවට පත්වනු නියතය.
ආයතනයක යම් වගකිවයුතු පරිපාලනයක් නොපවතින්නේ නම් එම ආයතනයෙන් කාර්යක්ෂම බවක් අපේක්ෂා කළ නොහැකිය. රජයේ බොහෝ ආයතනවල ආයතන ප්‍රධානීහු දේශාපාලන පත්වීම් ලද්දෝ වෙති. ඔවුන්ට තම රාජකාරිය සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවබෝධයක් නැත. නිසි ඉලක්කයට තම ආයතනය මෙහෙයවීමට අසමත් මෙබදු පාලකයන් නිසා එම ආයතනයෙන් සේවා ලබා ගැනීමට පැමිණෙන ජනයා බලවත් පීඩාවට පත් වෙති. රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමට නම් මෙම කාරණා සම්බන්ධයෙන් ද ප්‍රමාණවත් අවධානයක් යොමු කළ යුතුය.

අන්තර් ආයතනික සබඳතා දුරස්ථවීමට හොඳම උදාහරණය වන්නේ මහා මාර්ග වේ. මහා මාර්ග අමාත්‍යාංශයෙන් පාර කාපට් කරනු ලබයි. ඊට පසුව විදුලිබල මණ්ඩලය පැමිණ එම කාපට් කළ මාර්ගයේ වළවල් හාරනු ලබයි. මහා මාර්ග අමාත්‍යාංශය එම වළවල් වසා දැමූ පසු ජලාපවහන මණ්ඩලයෙන් පැමිණ එම පාරේ කාණු කපා බට වළලනු ලැබේ. මෙම ආයතන අතර සම්බන්ධතාව ඉතා සමීපව හා අවබෝධයෙන් තිබිය යුතුය. එහෙත් වැඩ කෙරෙන ආකාරයෙන් පෙනෙන්නේ එබඳු සමීප හා අවබෝධාත්මක සම්බන්ධයක් නොතිබෙන බවය.

හේතුඵල වාදය අනුව ඵලයට ප්‍රතිකර්ම කර තේරුමක් නැත. ප්‍රතිකර්ම කළ යුතු වන්නේ හේතුවටය. රටේ ජනාධිපතිවරයාට රාජ්‍ය ආයතනවලට හදිසියේ කඩා පැනීමට සිදුවන්නේ නම් රටේ අගමැතිවරයාට රාජ්‍ය නිලධාරීන් කැඳවා රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්නැයි උපදෙස් දීමට සිදුව තිබෙන්නේ නම් එයට හේතු තිබිය යුතුය. පළමුව කළ යුතු වන්නේ එම හේතු සොය ගැනීමය. ප්‍රතිකර්ම නිර්දේශ කළ හැකි වන්නේ එමගිනි.

(***)