ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට බහුතර බලය හිමි නොවුණු බැවින්, රජයක් පිහිටුවීම සම්බන්ධයෙන් ගැටලුවක් නිර්මාණය වීමත් සමග, භාරකාර අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කරන බෙන්ජමින් නෙදන්යාහු රජයක් පිහිටුවීමේ අභියෝගය බාරගත් ප්‍රධාන විපක්ෂ නායක ගාඩි අයිසෙන්කොට්ට යෝජනා කළේ, හවුල් රජයක් පිහිටුවීමට තමන් සහ තමන්ගේ පක්ෂය සමග අත්වැල් බැඳ ගන්නා ලෙසය.

රජයක් පිහිටුවීමේ අවස්ථාව, ප්‍රධාන විපක්ෂ නායක ගාඩි අයිසෙන්කොට්ට පවරා ඇත්තේ ඊශ්‍රායල ජනාධිපතිවරයා විසිනි. භාරකාර අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන නෙදන්යාහු, අයිසෙන්කොට්ට පවසා ඇත්තේ, මාරුවෙන් මාරුවට අග්‍රාමාත්‍ය ධුරය දරමින්, නව රජයක් පිහිටුවීමට තමන් කැමැති බවය.

නෙදන්යාහුගේ එම යෝජනාවට අනුව, අග්‍රාමාත්‍ය ධුරයේ, සමාන කාල සීමාවක් තමන් ද ඉතිරි කාල සීමාව අයිසෙන්කොට් ද අග්‍රාමාත්‍ය ධුරය හොබවනු ඇත. පළමුවෙන් අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කිරීමට අයිසෙන්කොට්ට ඉඩ දෙන බව ද නෙදන්යාහු පවසා ඇත.

මෙම යෝජනාවට ප්‍රතිචාර දක්වමින් අයිසෙන්කොට් පවසා ඇත්තේ රටේ අනාගත රජය පිළිබඳව ලිකුඩ් පක්ෂ නායකයා කොතරම් බැරෑරුම් ලෙස කටයුතු කරන්නේ ද යන්න සොයා බැලීම සඳහා කඩිනම් සාකච්ඡාවලට තමා සූදානම් බවය. 

ලිකුඩ් යනු නෙදන්යාහුගේ දේශපාලන පක්ෂයයි. 'ලිකුඩ් පක්ෂය සැබෑ එකමුතුවක් සඳහා සූදානම් නම්, ඉදිරි පැය 24 තුළ එය කොතරම් බැරෑරුම්ද යන්න බැලීමට මා සූදානම්' යැයි අයිසෙන්කොට් නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.