(අංජුල මහික වීරරත්න)

බුද්ධිමය දේපළ පනත යටතේ බුද්ධිමය දේපළ අනුයෝජිතයින් ලියාපදිංචි කිරීම සඳහා නියෝග පැනවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනතේ විධිවිධාන මඟින් බුද්ධිමය දේපළ අනුයෝජිතයින් පිළිගැනීම සහ ඔවුන්ගේ කාර්යභාරය ක්‍රියාත්මක කිරීම සඳහා නීතිමය ප්‍රතිපාදන සපයා තිබේ. එමඟින් නීතිඥවරුන් බුද්ධිමය දේපළ අනුයෝජිතයින් ලෙස පිළිගැනීමට විධිවිධාන සැලසීම මෙන්ම, නීතිඥවරුන් නොවන පුද්ගලයින් සහ ආයතනික අස්ථිත්ව බුද්ධිමය දේපළ අනුයෝජිතයින් ලෙස පිළිගැනීම සඳහා ද නීතිමය පදනම සලසා ඇත. 2006-05-17 දිනැති අංක 1445/10 දරන ගැසට් නිවේදනයෙන් ප්‍රකාශිත 2006 අංක 01 දරන බුද්ධිමය දේපළ නියෝග මඟින් අනුයෝජිතයින් ලියාපදිංචි කිරීම සඳහා පරිපාලන ක්‍රියාපටිපාටි සකස් කිරීමට බුද්ධිමය දේපළ අධ්‍යක්ෂ ජනරාල්වරයාට බලය පවරා ඇති අතර, නීතිඥයින් නොවන අදාළ සුදුසුකම් සපුරා ඇති පුද්ගලයින්ට අනුයෝජිතයින් වශයෙන් පත් වීම සඳහා අවශ්‍ය සුදුසුකම් නිර්ණායක ද එමඟින් හඳුන්වා දී තිබේ.

ඒ අනුව, ඉංජිනේරු විද්‍යාව සහ විද්‍යා විෂය ක්ෂේත්‍ර වැනි අදාළ ක්ෂේත්‍රයක ප්‍රථම උපාධියක් ඇතුළු උසස් අධ්‍යාපන සුදුසුකම් සපුරා ඇති විශේෂිත විෂය ක්ෂේත්‍ර වල අයවළුන්ට පේටන්ට් බලපත්‍ර සම්බන්ධයෙන් අනුයෝජිතයින් ලෙස කටයුතු කිරීමට විධිවිධාන සලසමින් 2006 අංක 01 දරන බුද්ධිමය දේපළ නියෝගවල 58 වන නියෝගය සංශෝධනය කිරීම සඳහා 2026-08-03 දිනැති හා අංක 2500/15 දරන අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත. එකී සංශෝධන නියෝග අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.