යුක්රේනයේ අසල්වැසියකු මෙන්ම නේටෝ සාමාජික රාජ්‍යයක් ද වන පෝලන්තයේ, ක්‍රැකෝව් නගරයේ ප්‍රධාන වෙළෙඳ චතුරස්‍රයේ සිදුවූ දරුණු වෙඩි තැබීමකින් හයදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇත. තවත් 12 දෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

වෙඩි තැබීම සිදුවී ඇත්තේ එරට වේලාවෙන් සවස 3.00 ට පමණ ය. මියගිය පිරිස අතරට බ්‍රිතාන්‍ය පුරවැසියන් තිදෙනකු ද ඇතුළත් වන බව පෝලන්ත ආරක්ෂක අංශ තහවුරු කරයි.

මෝටර් රථයකින් වෙළෙඳ චතුරස්‍රයට පැමිණි පුද්ගලයකු එම රථය තුළ සිටම අවට සිටි පිරිසට වෙඩි වරුසාවක් එල්ල කර ඇති බව සිද්ධිය ඇසින් දුටුවෝ පවසති. තුවාල ලැබූවන් අතර පොලිස් නිලධාරීන් දෙදෙනකු ද වෙති.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර වෙඩික්කරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලිස් ප්‍රතිප්‍රහාර හමුවේ ඔහු ද තුවාල ලබා සිටින බව වාර්තා වේ. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර, පෝලන්ත ආරක්ෂක අංශ මේ වන විට පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.