
(සුජිත් හේවාජුලිගේ )
ව්යාජ සමාජ මාධ්ය ගිණුම් උපයෝගී කරගනිමින් මෙරට විවිධ ජාතීන් හා ආගමික ප්රජාවන් අතර නොසන්සුන්තා හා ගැටුම්කාරී වාතාවරණයක් ඇති කිරීමට උත්සාහ දරන්නේ යැයි කියන විවිධ තරාතිරම්වල විස්සකට ආසන්න පිරිසක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ බුද්ධි අංශ විමර්ශන ආරම්භ කර ඇත.
එසේම මෙම ගැටළුව සම්බන්ධයෙන් රජය විශේෂ අවධානය යොමු කර ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්ය ආනන්ද විජේපාල මහතා පැවසීය.
මෙම ඇතැම් සමාජ මාධ්ය මෙහෙයවනු ලබන්නේ විදේශයන්හි සිට හෙයින් විදේශයන්හි සිට මේවා මෙහෙයවන පුද්ගලයන් සම්බන්ධයෙන් තානාපති කාර්යාල මාර්ගයෙන්ද තොරතුරු සොයා ගැනීමට රජය විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත. අැතැම් අය යම් යම් දේශපාලනඥයන්ගේ උසි ගැන්වීම් අනුව මෙලෙස කටයුතු කරන බවටද තොරතුරැ හෙළිවී අැතැයි පොලීසිය පවසයි.
වෛරී ප්රකාශ පැතිරවීම සම්බන්ධයෙන් පසුගිය වසර දහයක කාලයේදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ත්රස්ත විමර්ශන කොට්ඨාසය පැමිණිලි හයක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ඇති බවද අමාත්යවරයා ප්රකාශ කළේය.
ශ්රී ලංකාවේ සමාජ මාධ්ය පරිශීලනය ශීඝ්රයෙන් ඉහළ යෑමත් සමඟ, මෙරට මෙන්ම විදෙස්ගතව සිටින ඇතැම් පුද්ගලයන් ව්යාජ ගිණුම් සකස් කරමින් ජනකොටස් අතර ජාතිවාදී හා ආගම්වාදී වෛරය ව්යාප්ත කිරීමට කටයුතු කරමින් සිටින බව අමාත්යවරයා පෙන්වා දුන්නේය.
එමෙන්ම මෙවැනි සිදුවීම් විමර්ශනය කිරීමේදී නීතිය ක්රියාත්මක කරන බලධාරීන්ට ප්රායෝගික බාධා රැසකට මුහුණ දීමට සිදුව ඇති බව පැවසූ අමාත්යවරයා, ඇතැම් සිදුවීම් සම්බන්ධයෙන් නිල පැමිණිලි නොලැබීම, ඇතැම් සමාජ මාධ්ය ගිණුම් විදෙස් රටවල සිට මෙහෙයවීම සහ පවතින නීතිමය රාමුවේ පවතින සීමාවන් එම බාධා බවද සඳහන් කළේය.
කෙසේ වෙතත්, එම ව්යාජ ගිණුම් පිටුපස සිටින පුද්ගලයන් නිශ්චිතව හඳුනාගෙන නීතිය හමුවට පැමිණවීමට පොලිසිය අඛණ්ඩව ක්රියාමාර්ග ගනිමින් සිටින බවද ඔහු අවධාරණය කළේය.
මුස්ලිම් ජාතිකයන්ගේ නම් භාවිත කරමින් ව්යාජ සමාජ මාධ්ය ගිණුම් හරහා වෛරී ප්රකාශ පැතිරවී යැයි සැකපිට ඉබ්බාගමුව ප්රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් සැකකරු මුස්ලිම් නම් යොදා ගනිමින් ‘වට්ස්ඇප්’ සමූහ සකස් කර, 2026 නොවැම්බර් 11 වන දින ශ්රී දළදා මාළිගාව ඇතුළු ප්රමුඛ පෙළේ බෞද්ධ සිද්ධස්ථාන ඉලක්ක කර ප්රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇති බවට ව්යාජ තොරතුරු සමාජගත කරමින් නොමග යවනසුලු පණිවිඩ සංසරණය කර ඇති බවත් අමාත්යවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd