IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ජපනා ත‍්‍රිකුණාමලයට පහර දුන්දා ලාංකික සෙබළෙකුගේ මතක සටහන්

ගමේත් පන්සලේත් කුදු මහත් කටයුතු වලදී පෙරමුණ ගෙන කි‍්‍රයාකල බටුවත්ත මහතා හපුගල ගමේ නායකයකු වූවේය. හෙතෙම රෝගාතුර වීමට පෙර ඉඳහිට අපේ නිවසට පැමිණියේ අප්පච්චී හමුවී පොදු කටයුතු සැළසුම් කැර ගැනීමේ අරමුණෙනි. ලා දුඹුරු පැහැති කළිසමත් සුදෝ සුදු පැහැති අත්දිග කමිසයත් හැඳ එයටම ගැලපෙන දුඹුරු පැහැති අලංකාර සැරයටියක් ද ගෙන පැමිණෙන ඔහු සෘජු, ඉතා කඩිසර ගමන් විලාසයක් දක්වයි. කවදත් පිළිවෙලකට හැඳ පැලද සිටින ඔහු නීතියට සහ වෙලාවට වැඩ කරන බව මම අසා ඇත්තෙමි. එහෙත් බටුවත්ත මහතා කළ රැකියාව පිළිබඳ මම දැන සිටියේ නැත. ලෝක යුද්ධ කාලේ ශී‍්‍ර ලංකාවට ප‍්‍රහාර එල්ල කරන්නට පැමිණි ජපන් ගුවන් යානා කඩා වැටුණු ස්ථාන පිළිබඳ මා අධ්‍යයනය කරමින් සිටියදී මා සොයා පැමිණි අප්පච්චී අපූරු තොරතුරක් කීවේය. ‘‘ ඔයා දන්නවනේ බටුවත්ත මහත්තයා. දැන්නම් ගොඩක් වයසයි. ඒ මහත්තයා ලෝක යුද්දෙ කාලේ ජපන්නු බෝම්බ දානකොට ති‍්‍රකුණාමලයේ ඉඳලා තියෙන්නේ ’’ කලකින් නොදුටු බටුවත්ත මහතා සොයා මම එහි යනවිට ඔහු තම 95 වැනි උපන්දිනය සමරා ගතවී තිබුණේ එක් දිනයක් පමණි. බටුවත්ත මහතාගේ දරුවන් මා තම පියාට හඳුන්වාදෙද්දී ඔහු ඉතාමත් ලෙන්ගතුව මා පිළිගනිමින් කථා බහට එක්වූවේය. ‘‘ එදා මම හිටියේ ති‍්‍රකුණාමලය කඳවුරේ. මට මතක විදියට 1942 අපේ්‍්‍රල් මාසේ 09 වැනිදා. ඒ වෙනකොට මම බ්‍රෙන් ගන් කියන ස්වයංකී‍්‍රය ගිනි අවියේ අංක එක වෙඩික්කරුවෙක්. ඒ නිසා මගේ අතේ මේ ජාතියේ තුවක්කුවක් තිබුණා. උදේ පාන්දර අපි සේවයට වාර්තා කරලා වැඩිවෙලාවක් ගියේ නැහැ. ති‍්‍රකුණාමලය වරායට නැගෙනහිර අහසෙන් සද්දයක් ඇහෙනවාත් සමගම කඳවුරේ අනතුරු හැ`ගවීමේ සයිරන් නාද වුණා. අපිට කරන්න කිසිම දෙයක් තිබුණේ නැහැ. ඒ වෙනකොට ජපනුන්ගේ හදිසි ප‍්‍රහාරයක් අපි බලාපොරොත්තුවෙන් තමයි හිටියේ. ඒ නිසා ති‍්‍රකුණාමලය අවට පදිංචි සාමාන්‍ය වැසියන්ටත් නිවෙස් වල අගල් සහ හැකි පමණින් බංකර සාදා ගන්න කියා තිබුණා. සයිරන් හඩ ඇසෙන විටම ඔවුන් ආරක්ෂාව පතා නියමිත ස්ථාන වලට යාමට උපදෙස් දී තිබුණේ ’’ දෙවැනි ලෝක යුද්ධයේදී බි‍්‍රතාන්‍යය මිත‍්‍ර රටවල් නියෝජනය කළේය. ලෝකයේ අසහාය ආඥාදායකයා වීමට සිහින මවමින් සිටි හිට්ලර්ගේ හමුදාවට එරෙහිව ආසියාවේ දියත් වන සටන් වලදී බි‍්‍රතාන්‍යයන්ගේ යටත් විජිතයක් වූ ලංකාවේ පිහිටීම මිත‍්‍ර හමුදාවට වැදගත් වී තිබිණි. ඒ නිසාම ඔවුන්ගේ සටන් මෙහෙයුම් මධ්‍යස්ථානයක් බවට ලංකාව පත්ව තිබිණි. මේ හේතුවෙන්ම ජර්මනිය සහ ජපානයේ ප‍්‍රධාන ඉලක්කයක් බවට ශී‍්‍ර ලංකාව නිතැතින්ම පත්වූවේය. ජපනුන් ශී‍්‍ර ලංකාවට බෝම්බ දැමුවේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි. එදා බි‍්‍රතාන්‍ය රාජකීය හමුදාවේ සේවය කළ බටුවත්ත මහතා පවසන්නේ කවර මොහොතක හෝ සතුරන්ගෙන් ගුවන් ප‍්‍රහාරයක් එල්ලවීමට ඉඩ තිබූ බැවින් ති‍්‍රකුණාමලය ප‍්‍රදේශයේ පදිංචිකරුවන්ට පවා ආරක්ෂා වී සිටීමට අවශ්‍ය යුද උපක‍්‍රම සැළසුම් කැර තිබූ බවයි. නැගෙනහිර අහසේ උදා හිරු මෝදු වී ගතවූයේ සුළු වේලාවකි. කළු පැහැති කුරුල්ලන් රංචුවක් මෙන් ශබ්ද නගා පැමිණෙන ගුුවන් යානා සමූහයක් දිස්වන්නට විය. ති‍්‍රකුණාමලයේ සවිකැර තිබූ සයිරන් නොනවත්වා නාද වන්නට විය. සතුරු යානා එනබව දැනගත් සියලූ දෙනා ආරක්ෂිත ස්ථාන කරා දිව ගියහ. කඳවුරේ සිටි හමුදා භටයෝ ප‍්‍රතිප‍්‍රහාරයට සූදානම් වූහ. ‘‘ මම හිටියේ වරාය ආසන්නයේ තිබූ විශාල සියඹලාගහක් යට. එතන කුඩා බංකරයක් සාදා තිබුණා. මමත් සිවන් කියලා තව නිලධාරියකු සහ මුස්ලිම් ජාතික සෙබළෙක් එතැන සිටියා. ඒ ආසන්නයේම දූපතක් තිබුණා. සතුරු ගුවන් යානා හයක් අපේ පැත්තට ආවා. මම වෙඩි තියන්න සූදානම් වුණා. ඒ සමගම අපි දැක්කා ඔවුන් යානා වල සවිකැර තිබූ තුවක්කුවලින් සියළුම පැතිවලට වෙඩිතියනවා. ඔවුන්ට ප‍්‍රතිප‍්‍රහාර එල්ල කළ අපේ අය සිටි තැන් සොය සොයා වෙඩි තියනවා. අපි හිටපු තැන සම්පූර්ණයෙන්ම විවෘතයි. සියඹලාගහත් එතැන තිබූ බංකරයත් පමණයි අපිට ආරක්ෂා වීමට තිබුණේ. ඒ නිසා අපි බංකරයට ඇතුළු වුනා. වෙඩි තැබීමේ හැකියාවක් තිබුණේ නැහැ. ජපන් ගුවන් යානා තුනකින් අපි හිටපු තැනට දිගින් දිගටම වෙඩි තැබුවා. මම ඒ වෙලාවේ වෙඩි තිව්වානම් අපි ඉවරයි. ’’ ඔහු එදා බිහිසුණු අවස්ථාව ඒ ආකාරයෙන් සිහිපත් කළේය. ගාල්ල කොටුවේ හමුදා කඳවුරට ගිය ඔහු 1935 දී බි‍්‍රතාන්‍ය රාජකීය හමුදාවේ ස්වේච්ඡුා සේවයට එක්වූ අතර ලෝක යුද්ධය ආරම්භවීමත් සමගම 1941 ජූලි මාසයේ 01 දා බි‍්‍රතාන්‍ය රාජකීය හමුදාවේ නිත්‍ය සේවයට එක්වූවේය. ‘‘ මම හමුදාවට එක්වෙනවාට අම්මා තදින්ම විරුද්ධ වුණා. තාත්තානම් කිව්වා උඹට කිසි කරදරයක් වෙන්නේ නැහැ පලයං කියලා. මිනිහෙක් වුණාම යුද්දෙටත් යන්න  ඕන කියන අදහසේ තමයි තාත්තා හිටියේ. ’’ කොළඹ ඇචිරන් බැරැුක්කයේදී මූළික හමුදා පුහුණුව ලැබූ ස්ටීවන් බටුවත්ත මහතා මාසයකින් පසු ගම්පහ බටදොළ වත්තේ හමුදා පුහුණු ඒකකයේත් දියතලාව හමුදා පුහුණු ඒකකයේත් මාස හතරක් පුහුණුව ලැබීමෙන් අනතුරුව ති‍්‍රකුණාමලය කඳවුරේ සේවයට යෙදවිණි. ඉංගී‍්‍රසි භාෂාවෙන් අධ්‍යාපනය ලබා තිබූ බටුවත්ත මහතා හමුදා කඳවුරේ ලිපි ලේඛණ කටයුතු සඳහා සහාය කැර ගැනීමට සුදුසු පුද්ගලයකු වූයෙන් ඔහු සමග පුහුණුව ලැබූ අනෙක් සෙබළුන්ට මෙන් යුද්ධයට සහභාගී වීමට විදෙස් ගතවීමේ අවස්ථාව ඔහුට මගහැරී ගියේය. ‘‘ එදා මුළු ති‍්‍රකුණාමලයම යුද භීතියෙන් ඇළලී ගියා. ජපන්නු හැම තැනටම බෝම්බ දැම්මා. ති‍්‍රකුණාමලයේ තියෙන තෙල් ටැංකි ඔවුන්ගේ ඉලක්කයක් වෙලා තිබුණා. එක ටැංකියක් මතට ඔවුන්ගේ යානයක් කඩා වැටිලා ඒ ටැංකිය දවස් ගණනාවක් ගිනි ගත්තා. ඒ වගේම වරායේ නවතා තිබූ නැව් වලටත් බෝම්බ දැම්මා. රිපල්ස් කියන බි‍්‍රතාන්‍ය නැව සම්පූර්ණයෙන්ම විනාශ වුනා. සෑහෙන පිරිසක් මියගොස් තිබුණා. ඒ වගේම ගොඩක් අය තුවාල වෙලා හිටියා. යුද්ධයේ බිහිසුණු බව එදානම් හොඳින් අත්දුටුවා. ’’ එදින තම කඳවුරෙන් තැබූ වෙඩි පහරින් ජපන් ගුවන් යානා කිහිපයක් ද කඩා වැටුණු බව ඔහු පවසයි. ති‍්‍රකුණාමලය වරාය ආසන්නටය කඩා වැටුණු එවැනි යානාවක් පසු කළෙක ද එහි තිබූ බව බටවුත්ත මහතා අප සමග කීවේය. බටුවත්ත මහතා පවසන්නේ බි‍්‍රතාන්‍ය හමුදාවේ සේවය කළ කාලයේ දැඩි විනය නීති රීති ක‍්‍රියාත්මක වූ බවයි. ඒවා තම ජීවිතය හැඩ ගස්වා ගැනීමට මහත් ඉවහල් වූ බවද සඳහන් කළ හෙතෙම අදට ද තමන් වේලාවට ආහාර ගන්නත් වේලාවට නින්දට ගොස් යළි හිමිදිරි උදයේම අවදිවන්නට පුරුදුවූයේ බි‍්‍රතාන්‍ය රාජකීය හමුදාවේ සේවය කරන කාලයේදී බව ද කීවේය. බි‍්‍රතාන්‍යයන් ලංකාවට නිදහස ලබාදීමත් සමගම බටුවත්ත මහතා හමුදාසේවයෙන් ඉවත් වූවේය. ඇගළුම් පාලන දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් ප‍්‍රධාන ලිපිකරුවා ලෙස ඔහු වෙනත් රාජකාරියක් ඇරඹුවේය. හමුදා සේවයෙන් ඉවත්වී කරුණාවතී ලිලියන් ජයසුන්දර මෙනවිය සමග විවාහවූ හෙතෙම ගාල්ලේ හපුගල බිරිඳගේ ගමට පදිංචියට ආවේය. ස්වර්ණමාලී, උපාලි, රංජිත් හා ඉන්ද්‍රානි නමැති දරුවන් සිව් දෙනකුගේ පියකු වූ ඔහු පවසන්නේ තම ජීවිතය හමුදාව සමග බද්ධ වී තිබුණු රාජකාරී ජීවිතයක් බවයි. ලංකා යුද හමුදාව ආරම්භ කරද්දී එයට ඉල්ලූම්පත‍්‍රයක් යොමු කළ ඔහු යළිත් ලංකා පාබල හමුදාවට එක්වූවේය. පාබළ හමුදාවෙන් ඉංජිනේරු බළකායේ සේවයට එක්වූ බටුවත්ත මහතා බි‍්‍රගේඩියර් එම්.එල්.ඞී.ඒ.පෙරේරා මහතා යටතේ සේවය කරමින් ගබඩා පරිපාලක වරයකු ලෙසත් එහිදී සැරයන් වරයකු හැටියට උසස්වීම් ලැබ ආහාර ද්‍රව්‍ය හා සෙබළ වැටුප් භාර ලිපිකරුවකු ලෙසත් සේවය කළේය. ලංකා හමුදාව පිහිටුවා වසරක් ගතවූ මොහොතේ ගෝල් ෆේස් පිටියේ පැවති ගරු ගාම්භීර උත්සවයට සහභාගී වූ බටුවත්ත මහතා එය තවමත් සතුටින් සිහිපත් කරයි. එමෙන්ම එක්සත් ජාතික පක්ෂ රජයෙන් ඉවත්වූ බණ්ඩාරනායක මහතා ඇතුළු පිරිස ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය පිහිටුවන සාකච්ඡුාව නැරඹීමට තමන් ද සහභාගී වූ බව හෙතෙම අප සමග කීවේය. අපි ඒ කාලේ විවිධ පළාත් වලට සේවයට යනවා. හමුදා සේවය ඉතාමත්ම සුන්දරයි. ඔහු ලංකා හමුදාවට එක්වීමෙන් පසුවද ති‍්‍රකුණාමලයේ සේවය කිරීමට සිදුවූවේය. ‘‘ අපි ති‍්‍රකුණාමලයේ ඉන්න කාලේ හැම ඉරිදාම විශේෂ සේවාවක් තියෙනවා. ඒ කාලේ සාමි මලේ වන්දනා කරන්න දෙමළ ජාතිකයන් වැල නොකැඞී එනවා. අපි අපේ රයිෆල් තියලා වේවැලක් අරගෙන නිල ඇඳුමෙන් යනවා. ’’ පසුව ජනරාල් තනතුරට උසස්වීම් ලබා ශී‍්‍ර ලංකා රජයේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා ද වූ පසුගියදා මියගිය අනුරුද්ධ රත්වත්ත මහතා ඔහු සමග ති‍්‍රකුණාමලය කඳවුරේ සේවය කළේය. එකළ මේ දෙදෙනා ජීප් රථයක නැගී මාසයකට වතාවක් යාපනයේ සිටින තම සෙබළුන්ට වැටුප් රැුගෙන යති. ‘‘ රත්වත්ත මහත්තයා බොහොම සුන්දර චරිතයක්. ඒ දවස්වල අපි විවිධ විනෝද කථා බහ කරමින් යාපනයට යනවා. අද වගේ නෙවෙයි ඉතා සුන්දර පරිසරයක් තිබුණා.  මේ කාලයේ මම පුත්තලම කඳවුරේ සේවය කළා. එතකොට හැමදාම උදේ එළවළු ගේන්න නිකවැරටියට යනවා. මස් ගේන්නෙත් එහෙන්. දවසක් එළු මස් සපයන කෙනා පනපිටින් එළුවෙක් දුන්නා. මට එළුවා මරන්න බැහැ. නමුත් මම එළුවා අරගෙන ආවා. මම දන්නේ නැහැ මොනවා වුනාද කියලා. නමුත් එදා ආහාරයට එළු මස්නම් තිබුණා. ’’ බටවත්ත මහතා කීවේය. හමුදා සේවයේ සිටියදී තම සොහොයුරන් දෙදෙනා ද හමුදා සේවයට එක්කැරගත් බටුවත්ත මහතාට හිමිවීමට තිබූ උසස්වීම් අහිමිවූයේ සිල්වෙස්ටර් බටුවත්ත නැමැති සොහොයුරා ජෙනරල් උඩුගම ඇතුළු පිරිසක් සමග හමුදා කුමන්ත‍්‍රණයක සැකරුවකු වූ බැවිනි. ඒ හේතුව නිසාම බටුවත්ත මහතාට හමුදාවේ රෙජිමේන්තු සැරයන් මේජර් වරයා ලෙසම විශ‍්‍රාම ලැබීමට සිදුවිය. බටුවත්ත මහතාගේ අතේ අමුතු ආකාරයේ සැරයටියකි. එය මට පෙන්වන ඔහු පවසන්නේ තමා සැරයන් මේජර් වරයා කාලයේ භාවිතා කළ බැට්න් එක එය බවයි. ‘‘ මේක මගේ ජීවිතය වගේ මම හමුදාවෙන් විශ‍්‍රාම යද්දී රුපියල් 15 ක් දීලා මේක සල්ලි වලට ගත්තා. හැමදාමත් මේක මගේ ල`ග නොවරදවාම තියෙනවා ’’ සෞම්‍යා බටුවත්ත මෙනවිය තමන්ට අත්දකින්නට වූ සිදුවීමක් මෙසේ විස්තර කළාය. ‘‘ අපි දවසක් සීයා එක්ක කොළඹ ගියා. වාහනේ ඉස්සරහ සීයා වාඩිවෙලා හිටියේ සීයගේ අතේ මේ බැට්න් එක තියෙනවා. හමුදා මුරපොළක අපිව නවත්තලා හමුදා සෙබළෙක් ඉස්සරහට ආවා. එකපාරටම ඉද්ද ගැහුවා වගේ කෙලින් වුණු සෙබළා සීයාට සැලියුට් ආචාරයක් පිරිනමලා සර් යන්න කිව්වා. අපිට මේකේ වටිනාකමක් නොතිබුණාට හමුදාවේ අය මේ ගැන හොඳින් දන්නවා. ’’ වයස අවුරුදු 95 සම්පූර්ණ කැර සිටින බටුවත්ත මහතා පවසන්නේ තමන් බි‍්‍රතාන්‍ය රාජකීය හමුදාවේ සේවය කළ කාලයත් ශී‍්‍ර ලංකා යුද හමුදාවේ සේවය කළ කාලයත් පිළිබඳ බෙහෙවින් තෘප්තිමත් වන බවයි. තමන් මරණයට සූදානම්ව සිටින බව පවසන හෙතෙම හමුදාවෙන් පැනගිය සෙබළු සිදුකරන විනය විරෝධී කි‍්‍රයා ගැන මහත්සේ පසුතැවිලි වූවේය.

සටහන සහ ඡායාරූප-සජීව විජේවීර
 



අදහස් (0)

ජපනා ත‍්‍රිකුණාමලයට පහර දුන්දා ලාංකික සෙබළෙකුගේ මතක සටහන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 651 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2326 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site