(අංජුල මහික වීරරත්න)

වී මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වෙත දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් ණය මුදලක් ලබා දීමේ වැඩපිළිවෙළක් පිළිබඳ දිස්ත්‍රික් ලේකම්වරුන් සමඟ සාකච්ඡා කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සමඟ ජනාධිපති කාර්යාලයේ අද (11) පැවති හමුවකදී පැවසීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම හමුව පැවැත්විණි.

ඒ අනුව වී කිලෝවක් සඳහා රුපියල් 120 ක අවම මිලක් යටතේ ගොවීන්ගෙන් වී මිලදී ගත යුතු බවත්, එක් ගොවියෙකුගෙන් මිලදී ගත හැකි උපරිම වී ප්‍රමාණය හෙක්ටයාරයකට කිලෝ ග්‍රෑම් 4,000 ක් විය යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මිලදී ගන්නා වී තොග පිළිබඳව සහ අදාළ ගොවීන් පිළිබඳව නිවැරදි ලේඛන පවත්වාගෙන යාම අනිවාර්ය වන අතර එම වාර්තා නිරන්තරයෙන් පරීක්ෂාවට ලක් කෙරෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

වී සඳහා ස්ථාවර මිලක් ලබා දීම සහ ගොවියාට සාධාරණ මිලකට වී මිලදී ගැනීම තහවුරු කිරීම වෙනුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ දායකත්වය ලබා ගැනීම අරමුණු කර ගනිමින් මෙම හමුව පැවැත්විණි.