
(නිමල කොඩිතුවක්කු)
2026 වසරේ මේ දක්වා අටපිරිකර හා පිරිකර අලෙවිය සම්බන්ධයෙන් වැටලීම් 127ක් සිදු කර අවශ්‍ය නීතිමය පියවර ගෙන ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
පාරිභෝගික ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ අටපිරිකර හා පිරිකර භාණ්ඩ අලෙවියේදී නීතිමය කරුණු අනුගමන කරන්නේ දැයි සම්බන්ධයෙන් දිවයින පුරා අටපිරිකර හා ඒ ආශ්රිත පිරිකර භාණ්ඩ අලෙවි කරන වෙළෙඳ ආයතන ඉලක්ක කර ගනිමින් විශේෂ වැටලීම් ක්‍රියාත්මක කළ බවද එහි සභාපති හේමන්ත සමරකෝන් මහතා සඳහන් කළේය.
මෙම විශේෂ වැඩසටහන යටතේ දිවයින පුරා සාර්ථක වැටලීම් 92ක් සිදු කර අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගත් බවද සභාපතිවරයා පැවසීය.
එලෙස සිදුකළ පරීක්ෂාවලදී ඇතැම් අටපිරිකරවල දෙපට සිවුර වෙනුවට තනිපට සිවුරක් ඇතුළත් කර තිබීම, අටපිරිකරට අදාළ කොටස් අට සම්පූර්ණ නොවීම, මිල අනුව ඇතුළත් කර ඇති භාණ්ඩ වෙනස් වීම, ඇලුමිනියම්වලින් නිෂ්පාදනය කළ පාත්‍ර, තැලී ගිය පාත්‍ර සහ මළ බැදුණු දැලි පිහි ඇතුළත් කර තිබීම වැනි අක්‍රමිකතා අනාවරණය වී ඇත.
වැටලීම්වලදී නීති උල්ලංඝනයට අදාළ අටපිරිකර, සිවුරු, අදනකඩ, බඳපටි, පාත්‍ර සහ අනෙකුත් පිරිකර භාණ්ඩ 436ක් නිලධාරීන් භාරයට ගැනීමට කටයුතු කර ඇති බවත් සභාපතිවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd