(සඳලි සත්සරණි)

එල්නිනෝ තත්වය සමඟ මුහුදේ මතුපිට ජල ස්ථරයේ උෂ්ණත්වය ඉහළ යෑමේ ප්‍රතිපලයක් ලෙස දිවයින වටා මුහුදු තීරයේ මත්ස්‍ය ගහනය ගැඹුරු මුහුද දෙසට ඇදීයෑම හේතුවෙන් මත්ස්‍ය අස්වැන්න අඩුවී ඇතැයි ධීවර ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පැවසීය.

මත්ස්‍ය මිල ඉහළ යෑමට එය ප්‍රධාන හේතුවක් බවද ඔහු කීය.

මුහුදේ මතුපිට ජල ස්ථරයේ උෂ්ණත්වය ඉහළ යෑම හේතුවෙන් මත්ස්‍ය ගහනය ගැඹුරු මුහුද දෙසට ඇදීයෑම මත්ස්‍ය අස්වැන්න අඩුවීමට ඍජුවම බලපා ඇති බවද හෙතෙම පැවසීය.

එසේම සාගරික වෙනස්කම් හමුවේ අස්වැන්න නෙලාගැනීමේ ගැටලුද මතුව ඇති බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම ගැටලු සම්බන්ධයෙන් විසඳුම් සෙවීම සඳහා ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ සභාපතිවරයා ඇතුළු පර්‍යේෂකයින් කැඳවා විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බවද සදහන් කළේය.

පාරිසරික ,මානව හා ආර්ථික ශක්‍යතා පිළිබඳව සොයාබලා මාස තුනක් ඇතුළත විද්‍යාත්මක පර්යේෂණ වාර්තාවක් කඩිනම් ලබාදෙන ලෙස එම පර්‍යේෂකයින්ට එහිදී උපදෙස් දුන් බවත් එම වාර්තාව පදනම්ව මේ ගැටලුවලට ස්ථිරසාර විසඳුමක් කඩිනමින් ලබාදෙන බවත් රත්න ගමගේ මහතා ප්‍රකාශ කළේය.

මේ අවස්ථාවේදී ධීවරයින් මුහුණ දී ඇති අසීරුතාවලට සහනයක් ලෙස කෙටි කාලීන දීමනාවක් වශයෙන් සුළු පන්න ධීවරයින්ට මාසයකට 31,250 බැගින් 93,750 ක සහනාධාරයක්ද බහුදින ධීවරයින්ට එකවර ලක්ෂයක සහනාධාරයක්ද ලබාදී ඇති බව හෙතෙම පැවසීය.

සුදුසුකම් ලත් ධීවරයින්ගෙන් 80 කට වැඩි ප්‍රමාණයකට සහනාධාර මුදල් ලබාදී අවසන් බවද නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ වැඩිදුරටත් සඳහන් කළේය.