(ඩයනා උදයංගනී )
නව රජයේ කොටස්කරුවන් නොවීමට පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන හවුල්කාර පක්‍ෂ 10 කණ්ඩායම තීරණය කර ඇත.
ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, නව වාමාංශික පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය හා ලංකා සම සමාජ පක්‍ෂය යන පක්‍ෂ ඇතුළු හවුල්කාර පක්‍ෂ 10 හි නියෝජිතයන් බොරැල්ල, ඇන්. ඇම් පෙරේරා මධ්‍යස්ථානයේදී මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර එහිදී අදහස් දැක්වූ ජා.නි.පෙ නායක විමල් වීරවංශ මහතා පැවසුවේ පක්‍ෂ 10 එකමුතුව ස්වාධීන කණ්ඩායමක් ලෙස විපක්‍ෂයේ සිටිමින් ආණ්ඩුවේ යහපත් පියවරවලට සහය දෙන බවයි.
රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍යධූරය ලබාදීමෙන් රටේ පවතින තත්වය පාලනය කිරීමට හැකිවේ යැයි තම කණ්ඩායම විශ්වාස නොකරන බව කී වීරවංශ මහතා ඔහු වත්මන් අර්බුදයට වගඋත්තරකරුවකු බව ද කීවේය.
නව පාලනය කඩාකප්පල් කිරීමට, හොඳ දෙයක් කරන විට බාධා කිරීමට හෝ වෛරී දේශපාලනයක් කිරීමට තම කණ්ඩායම බලාපොරොත්තු නොවන බව කී මන්ත්‍රීවරයා රට පාවාදීමේ යෝජනාවන් ඉදිරිපත් වුවහොත් ඒවාට ඉඩනොදෙන බව ද පැවසීය.
ඔහු අග්‍රාමාත්‍යධූරයට පත්වීම සම්බන්ධයෙන් එතෙක් බලා සිටි විපක්‍ෂයේ පක්ෂ වගකිව යුතු බව ද වීරවංශ මහතා සඳහන් කළේය.
ඒත් රට ඉල්ලන්නේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කිරීමේ ස්ථාවරභාවයක් නොවන බව කී වීරවංශ මහතා ඒ නිසා ආරාධනා ලැබුණත් එම පාලනයේ කොටස්කරුවන් විය නොහැකි බව ප්‍රකාශ කළේය.
රනිල් වික්‍රමසිංහ මහතාට පාර්ලිමේන්තුව තුළ සරළ බහුතරය නොමැති බව පෙනුණොත් නැවතත් අවිනිශ්චිත තත්වයක් මතුවන නිසා ඒ ගැන ප්‍රශ්න මතු නොකරන බව කී මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමකදී 113 වෙන පැත්තක බව පෙනිය හැකි නිසා එසේ නොවන අයුරින් කටයුතු කිරීමට අගමැතිවරයා දැනගත යුතු බව ද පැවසීය.
පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ද මෙහිදී අදහස් දැක්වූ අතර ඔහු පැවසුවේ හිටපු අගමැතිවරයාගේ කල්‍යාණ මිත්‍රයකු වන රනිල් වික්‍රමසිංහ මහතා සාටකයෙන් ටයි පටිය හදාගෙන අගමැති පුටුවේ වාඩිවී ඇති බවත්, ආණ්ඩුව ගෙදර යවන්න විශ්වාසභංග ගෙනා බලවේග අදිමදි කිරීම නිසා ඔහුට එම ලොතරැයි වාසනාව ලැබුණු බවත්ය.
රනිල් වික්‍රමසිංහ මහතා මෙතෙක් ක්‍රියාත්මක කළ න්‍යාය පත්‍රයෙන් මිදී රට ගොඩගැනීමට කටයුතු කළහොත් එම ආණ්ඩුවට සහය දිය හැකි බව කී ගම්මන්පිල මහතා නමුත් මෙම ආණ්ඩුව ප්‍රශ්නයට විසඳුම් ගෙනේවියැයි විශ්වාස නොකරන බව ද පැවසීය.
නව වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර, ලංකා සම සමාජ පක්‍ෂයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්‍ෂය නියෝජනය කරන, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ යුතුකම සංවාද කවයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග යන මහත්වරු ද මෙහිදී අදහස් දැක්වූහ.
COMMENTS
පාර්ලිමේන්තුවේ සිටින්නා වූ තීන්දු නොගැනීමට නොහැකි 225ද, එසේ නොමැති නම් වැදගත් වනුයේ 22.5 මිලියනයද යන්න ඉදිරි මැතිවරණයේදී ජනතාව තීන්දු කරනු ඇත.
පක්ෂ දහයේ ගරු මන්ත්‍රීවරුනි, කළයුත්තේ වහාම දහනවවන සංශෝධනය බලාත්මක කොට මහ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කිරීමයි. එය මහජන මතය අනුව පාර්ලිමේන්තුවක් ඇතිකරයි.
ඉතා හොඳයි. මේ පැලැස්තර අපිට ඕනෑ නැහැ...
රට විනාශ කරන මෙවැනි අය මීළඟ මැතිවරණයෙන් ගෙදරටම යවමු. රට විනාශ වෙලා තියෙන මේ වෙලාවේ තවතවත් අගාධයකට අදින්නයි මේ සූදානම...
ඉස්සෙල්ලාම බොලව් ජනතාවට කන්න නැති එකට විසඳුම් සොයන්න... පැයක්වත් ඉවසන්න බැහැ. බඩගිනියි. ඊට පස්සේ ඡන්දයකදී පුළුවන් නම් ආයේ ඇවිල්ලා සුපුරුදු ගැහිල්ල ගහන්න... මෙච්චර කල් වටිනා සමාජ සේවයක්නේ කළේ...