( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පත් කිරීම අභියෝගයකට ලක් කරමින් දකුණු පළාත් සභාවේ හිටපු මන්ත‍්‍රීවරයෙකු ගොනු කල රිට් පෙත්සම සලකා බැලීම ලබන ජුනි 12 වැනිදා තෙක් කල් දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) තීන්දු කළේය.

පෙත්සම කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකාර සරත් ෆොන්සේකා වෙනුවෙන් නීතිපතිවරයා පෙනී සිටීම සම්බන්ධයෙන් පෙත්සම්කරු විරුද්ධත්වය පළ කරන බව පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ තීෂ්‍ය වේරගොඩ මහතා අධිකරණයට දැන්වීය.

එම කරුණ සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම සලකා බැලීම ලබන ජුනි 12 වැනිදාට කල් තබන ලදී.
එක්සත් ජාතික පක්ෂ සාමාජිකයකු නොවන සරත් ෆොන්සේකා මහතාට එම පක්ෂයේ මන්ත‍්‍රීවරයෙකු ලෙස පත්වීමට සහ කටයුතු කිරීමට කිසිදු අයිතියක් නොමැති බවට ප‍්‍රකාශ කරන ලෙසද  ඉල්ලා දකුණු පළාත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පළාත් සභා මන්ත‍්‍රීවරයෙකු සහ නීතිඥ මේජර් අජිත් ප‍්‍රසන්න මහතා විසින් ගොනු කරන ලද මෙහි වගඋත්තරකරුවන් ලෙස ෆීල්ඞ් මාර්ෂල් සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා , එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් කබීර් හෂීම් ,මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය සහ එම කොමිසමේ සමාජිකයින් ,පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දිසානායක යන මහත්වරුන් පිරිසක් නම් කරනු ලැබ සිටිති..