(හර්ෂණ තුෂාර සිල්වා/ ඡායාරූප - ගයාන් අමරසේකර)
අධික වර්ෂාව නිසා ඇති වී තිබෙන තත්ත්වය සැලකිල්ලට ගනිමින් රාජ්‍ය සේවකයන්ගේ නිවාඩු අවලංගු කිරීමට තීරණය කර ඇතැයි ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අද (26) පෙරවරුවේ ප්‍රකාශ කළේය.
ආපදා තත්ත්ව ඇති වූ ප්‍රදේශවල දිස්ත්‍රික් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ප්‍රදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්තව සේවය කරන නිලධාරීන්ගේ නිවාඩු නැවත දන්වන තුරු අවලංගු කරන බව ද ඔවුන් වහාම තමන්ගේ සේවා ස්ථානවලට වාර්තා කළ යුතු බවද අමාත්‍යවරයා එහිදි කීවේය.
හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කැඳවා තිබූ රැස්වීමකින් අනතුරුව අරලිය ගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මෙම කරුණු කීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ආපදා තත්ත්වය හේතුවෙන් සියලු චක්‍රලේඛ අවලංගු වූ බව සලකා කටයුතු කරන්නැයි රාජ්‍ය නිලධාරීන්ට දැනුම් දෙන බව ද ඕනෑම රාජ්‍ය නිලධාරියකුට සාමාන්‍ය නීති රීතිවලින් බැහැරව ක්ෂේත්‍ර නිලධාරීන් ලෙස කටයුතු කිරීමට අවශ්‍ය පහසුකම් සපයා තිබෙන බව ද අමාත්‍යවරයා එහිදි කීවේය.
ආපදා තත්ත්වයක් හේතුවෙන් යම් නිලධාරියකුට රාජකාරියට වාර්තා කිරීමට නොහැකි නම් ඔහුගේ හෝ ඇයගේ දෙවැනි නිලධාරියා හෝ ආසන්නම නිලධාරියා වහාම ක්‍රියාත්මක වන පරිදි එම රාජකාරි ඉටු කිරීමට බැඳී සිටින බව ද අමාත්‍යවරයා එහිදි කීය. ආපදා තත්ත්වලට මුහුණ දී සිටින ප්‍රදේශවල නිලධාරීන්ගේ යම් හිඟයක් ඇති නම් රජයේ ඕනෑම විශ්‍රාමික නිලධාරියකු සේවයේ යොදවා රාජකාරි කටයුතු ඉටු කිරීමට දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්වරයාට බලය පවරා තිබෙන බව ද අමාත්‍යවරයා පැවැසීය.
මෙම ආපදා තත්ත්වය හදිසි ආපදා තත්ත්වය හදිසි අවස්ථාවක් ලෙස සලකා ජනතාවට සහන සැලැසීම සඳහා සක්‍රීයව දායක වන ලෙස සියලු රජයේ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ද නිවාඩු අනුමත කිරීමේ බලය අදාළ ආයතන ප්‍රධානීන්ට හිමිවන බව ද අමාත්‍යවරයා එහිදි වැඩිදුරටත් පැවැසීය.



COMMENTS
ශ්රී ලංකාවට ආපදාම තමයි. මොකද මේ ? හැබැයි නායකයෝ පිට රටමයි.
අග්‍රාමාත්‍යවරයා කියන තනතුර ඉවත් කළා නම් මේ රටට කිසිම ආපදාවක් නැහැ. එහෙනම් ස්වභාවධර්මය මෙච්චර කුපිත වෙන්නෙත් නැහැ.
රාජ්‍ය සේවක නිවාඩු අවලංගු කිරීමට කලින් මෙවැනි ආපදා තත්ත්වයකදීවත් අගමැති සහ ජනාධිපතිතුමන්ලාගේ රට සවාරි අවලංගු කලා නං නරකද?
එක නායකයෙක් රටෙත් නැහැ. අනිත් අයට තාම බැරිවුණා විපතට පත් වූවන්ව බලන්න යන්න තියා ඔවුන්ට කණගාටුවවත් පල කරන්න.