නැගෙනහිර පළාතේ පුරාවස්තු ආරක්ෂා කිරීම සඳහා පමණක් ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටවූයේ ඇයිදැයි විමසමින් දෙමළ ජාතික සන්ධානයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්සම්පන්දන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දීර්ඝ ලිපියක් යොමු කර ඇත.

නැගෙනහිර පළාතේ පමණක් නොව ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශවලද බෞද්ධාගමික පමණක් නොව හින්දුගාමික පුරාවස්තු සහ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු ස්ථාන ද තිබෙන බව සඳහන් කරමින් සම්පන්දන් මහතා ජනාධිපතිවරයාට යොමු කළ එම ලිපියේ සඳහන් වේ.

ආර්. සම්පන්දන් මහතා ජනාධිපතිවරයාට යොමු කළ ලිපියේ පිටපතක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ද යොමු කර ඇති අතර සිය ලිපිය මඟින් ඒ මහතා නිරීක්ෂණ පහක් ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කර ඇත.

‘‘ශ්‍රී ලංකාව යනු බහුවාර්ගික, බහු ආගමික, බහු සංස්කෘතික බහුත්ව සමාජයක් බව, ශ්‍රී ලංකාව පළාත් නවයකින් සමන්විත බවත් නැගෙනහිර පළාත් ඉන් එකක් බව, නැගෙනහිර පළාත බහුවාර්ගික පළාතක් වුවද එම පළාතේ බහුතරය දෙමළ බස කතා කරන ජනතාව බව, කාර්ය සාධක බලකාය එක් ජනවර්ගයක - සිංහල සහ එක් ආගමක – බෞද්ධ, ජනතාවගේ අභිලාෂ ඉටු කිරීමට පමණක් ස්ථාපිත කර ඇති බව (ඔවුන් මෙරට ජීවත්වන බහුතරය යැයි පිළිගත යුතුය) සහ අනෙකුත් පළාත්, අනෙකුත් ජනවර්ග සහ අනෙකුත් ආගම් නොසලකා හැරර ඇති බව’’ යන නිරීක්ෂණ පහ ය.

ශ්‍රී ලංකාවේ දෙමළ ජනවර්ගයට අයත් සහ භක්තිමත් හින්දු ජාතිකයකු ලෙස දෙමළ සහ හින්දු ජනතාවගේ අක්මුල් උතුරු සහ නැගෙනහිර පළාත්වල පමණක් නොව රට පුරා තිබෙන බව ද සම්පන්දන් මහතා සිය ලිපියෙන් පෙන්වා දී ඇත.

ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතාගේ සභාපතීත්වයෙන් යුත් සහ සාමාජිකයන් 11 දෙනකුගෙන් සමන්විත ජනාධිපති කාර්ය සාධක බලකායේ නැගෙනහිර පළාතේ පුරවිද්‍යාත්මක ස්ථාන සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක් කර ඇති නමුත් නැගෙනහිර පළාතේ සමස්ත ජනගහනයෙන් සියයට 70ක් නියෝජනය කරන දෙමළ හෝ මුස්ලිම් ජනවර්ගවලට අයත් කිසිදු පුද්ගලයකු කමිටුව නියෝජනය නොකරන බව ද සම්පන්දන් මහතා කියයි.

හින්දු ආගමික ජනතාවගේ වන්දනාවට සහ මහත් භක්තියට පාත්‍ර වන ස්ථාන උතුරු නැගෙනහිරෙන් පිටත ස්ථානවලද පිහිටා ඇති බව සඳහන් කරන සම්පන්දන් මහතා ‘‘කදිරගාමම්’’ ඉන් එකක් බව ද පෙන්වා දී ඇත. මුරුගා දෙවියන්ගේ සිද්ධස්ථානය එහි පිහිටා ඇතැයි ද ඔහු සඳහන් කරයි. සිංහල වර්ගයාගේ පැමිණීමටත් පෙර ශ්‍රී ලංකාවේ දකුණුදිග පිහිටි ශිව දෙවියන්ගේ පූජනීය ස්ථානයක් වන ‘‘තෝන්දීස්වරම්’’ මේ වනවිට නටඹුන් බවට පත්ව ඇතැයි ද මෙම හින්දු සිද්ධස්ථානය ආරක්ෂා කර සංරක්ෂණය කිරීමට පුරවිද්‍යා දෙපාර්තමේන්තුව පියවර නොගත්තේ ඇයිදැයි ද සම්පන්දන් මහතා විමසා ඇත. ඊට අමතරව ලංකාව පුරා දෙමළ-හින්දු බැතිමතුන් වන්දනාමාන කරන පූජනීය ස්ථාන රැසක් ඇතැයි ද හෙතෙම පෙන්වාදෙයි.

අවාසනාවකට පුරවිද්‍යා දෙපාර්තමේන්තුව එක් ආගමක් පමණක් ප්‍රවර්ධනය කරන සහ අනෙකුත් ආගම්වල නිත්‍යනුකූල අභිලාෂවලට හානි කරන ආයතනයක් යන කීර්තීය ලබාගෙන ඇතැහි ද හෙතෙම සඳහන් කරයි.

නැගෙනහිර පළාතේ දැනටත් ආගමික කටයුතු සිදුවන මෙන්ම මේ වනවිට නටඹුන් බවට පත්වී ඇති බෞද්ධ විහාරස්ථානවල දෙමළ බසින් ලියූ සෙල් ලිපි ඇතැයි ද අතීතයේදී දෙමළ හින්දු බැතිමතුන් බුදුන් වහන්සේගේ ඉගැන්වීම් අනුගමනය කළ ඉන් කියැවෙන්නේ යැයි ද ඔහු පෙන්වාදෙයි. බුදුන් වහන්සේ කිසිදු අවස්ථාවකදී හින්දු ආගමට එරෙහි නොවූ බවත් හින්දු ආගමේ පාරිශුද්ධත්වය පෙන්වා දී ඇතැයි ඔහු සිය ලිපියේ සඳහන් කරයි.

මෙම කරුණු ප්‍රසිද්ධියට පත් කර ජනතාවට ඒවා සම්බන්ධයෙන් දැනුම සහ අධ්‍යාපනය ලබාදීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු නැත්තේ ඇයිදැයි විමසන සම්පන්දන් මහතා එමඟින් බෞද්ධ සහ හින්දු ජනතාව අතර විශ්වාසය, සමඟිය සහ හොඳහිත වර්ධනය කිරීමට උපකාරී වන්නේ නැත්දැයි ද විමසා ඇත.

මෙවැනි අසමත්කම් නිසා පුරවිද්‍යා දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සැකයක් මතුවන බවත් එය පක්ෂග්‍රාහීව කටයුතු කරන බවට හැඟීමක් ඇති වන බවත් ඔහු සඳහන් කර ඇත.

බුදුදහම ආරක්ෂා කිරීම, ප්‍රවර්ධනය කිරීම සහ පෝෂණය කිරීමටත් කිසිවකුත් විරුද්ධ නැති බවත් බෞද්ධ සිද්ධස්ථානවලට අදාළ නීතිරීති උල්ලංඝනය කරන ඕනෑම අයකුට දැඩි දඬුවම් දිය යුතු බවත් දැනට පවත්නා නෛතික බලාධිකාරීන් එම පියවර ගත යුතු යැයි ද සම්පන්දන් මහතා සිය ලිපිය මඟින් පෙන්වා දී ඇත.

බුදුන් වහන්සේ කිසිදු අවස්ථාවකදී ආක්‍රමණශීලී සහ කලහකාරී ඉගැන්වීම් හෝ පිළිවෙත් අනුගමනය නොකළ බව පෙන්වාදෙන සම්පන්දන් මහතා ඇතැම් උන්වහන්සේගේ නාමයෙන් එද එවැනි ක්‍රියාමාර්ග අනුගමනය කරන බව ද සඳහන් කර තිබේ. බුදුන් වහන්සේ අනුගමනය කරනවා යැයි කියන අය සැබැවින්ම උන්වහන්සේගේ ඉගැන්වීම් අනුගමනය කළා නම් ශ්‍රී ලංකාව සාමයේ සහ ශාන්තභාවයේ පාරාදීසයක් වීමට ඉඩ තිබූ බව ද හෙතෙම පෙන්වාදෙයි.

බෞද්ධ වෙහෙර විහාරස්ථාන සහ ස්මාරක ආරක්ෂා කිරීමට ඒවා දැනට පිහිටා තිබෙන ස්ථාන ප්‍රමාණවත් බවත් සියවස් ගණනාවක් තිස්සේ ඒවා එම ස්ථානවල තිබූ බවත් ඔහු සඳහන් කරයි. එම කාර්ය සඳහා අමතර ඉඩම් අවශ්‍ය නොවන බවත් ඇතැම් පුද්ගලයන්ට එසේ අවශ්‍ය කර තිබෙන්නේ මෙම ප්‍රදේශ සිංහල බෞද්ධ ප්‍රදේශ කිරීමට ඇති වුවමනාව නිසා බවත් ඔහු සඳහන් කරයි. එමඟින් දැනට මෙම ප්‍රදේශවල ජීවත්වන සහ රැකියාවල නිරත වන දෙමළ ජනතාවගේ සහ දෙමළ බස කතා කරන ජනතාවගේ වත්මන් සහ අනාගත අවශ්‍යතා උල්ලංඝනය වන බව ද ඔහු පෙන්වාදෙයි. මතක ඇති කාලයක සිට එම ජනතාව මෙම ප්‍රදේශවල ජීවත්වන බව සඳහන් කරන සම්පන්දන් මහතා විජය කුමරුන්ගේ පැමිණීමට පෙර සිටම දෙමළ-හින්දු ජනතාව මෙම ප්‍රදේශවල ජීවත් වූ බව ද සඳහන් කරයි.

අලුතින් ඉඩම් අත්පත් කරගැනීමකින් තොරව බුදුදහම ආරක්ෂා කිරීම, ප්‍රවර්ධනය කිරීම සහ පෝෂණය කිරීම කළ හැකි බවත් එමඟින් සියලු ජනතාව අතර සමඟිය සහ හොඳහිත වර්ධනය වන බවත් සම්පන්දන් මහතා වැඩිදුරටත් සිය ලිපියෙන් පෙන්වා දී ඇත.

055