බිඟුන් මේනක ගමගේ
 
හරිත දේශගුණික අරමුදලේ හා කෘෂි වන වගා පර්යේෂණ පිලිබඳ ජාත්‍යන්තර කවුන්සිලයේ සත්කාරක රාජ්‍ය ගිවිසුම් දෙකකට එලඹීමට රජය තීරණය කර ඇති බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි.
 

දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවන අහිතකර බලපෑම් අවම කරගෙන ශ්‍රී ලංකාව පරිසර හිතකාමී හරිත කලාපයක් බවට පත්කර ගැනීමේ අරමුණෙන් රජය මෙම තීරණය ගත් බව ඇමැතිවරයා කියයි.
 
මිට අමතරව ගෝලීය හරිත වර්ධන ආයතනයේ සාමාජිකත්වය ලබා ගැනිමටත් රජය තීරණය කර ඇති බව කී හෙතෙම මේ සඳහා වන යෝජනාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කරනු ලැබ ඇති බව ද පැවසීය.
 
හරිත දේශගුණික අරමුදලේ සභාපති වන එක්සත් ජාතීන්ගේ  සංගමයේ හිටපු මහ ලේකම් බෑන් කී මුන් මහතා ශ්‍රී ලංකාවේ අහිතකර දේශගුණික බලපෑම අවම කිරීම සඳහා සහය දැක්වීමට මේ වනවිටත් එකගතාව පල කර ඇති බව ද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.