නිමල කොඩිතුවක්කු
ආර්ථික වශයෙන් තිබෙන වාසි අවාසි පිළිබඳ නිසි තක්සේරුවකින් තොරව සිදුකරන ශ‍්‍රි ලංකා සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම වැනි ගිවිසුම් මගින් රටේ ඉදිරි අනාගතය කෙරෙහි බලපෑම් එල්ල විය හැකි බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා අද (15) කොළඹදී පැවසීය.
ජාත්‍යන්තර ජාල තුල කටයුතු කරමින් විශේෂ වාසි ලබා ගන්නා පිරිසක් මේ පිටුපස සිටින බවත් ඔවුනගේ එම කටයුතුවලට ජනතාව එකහෙලා විරුද්ධ විය යුතු බවත් ඔහු කියා සිටියේය.
ඒකාබද්ධ වෘත්තීයවේදීන්ගේ ව්‍යාපාරය විද්වත් වෘත්තිකයන්ගේ සංගම් ගොඩනැල්ලේ කැඳවූ මාධය හමුවකට අද එක්වෙමින් හෙතෙම මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා මෙසේද කීය.
‘‘මේ ආණ්ඩුවේ ආර්ථික ප‍්‍රතිපත්තියේ ප‍්‍රධාන අංගයක් බවට නිදහස් වෙළඳාම පත්ව තිබෙනවා. මේ සම්බන්ධයෙන් වන නිදහස් වෙළඳ ගිවිසුම් කෙරෙහි රජය මූලිකත්වයක් ලබාදී තිබෙනවා. මෙය පදනම් වෙන්නේ දැනට ජාත්‍යන්තර වශයෙන් විවේචනයට ලක්වෙච්ච අසාර්ථක වූ ආර්ථික දැක්මක් මතයි.
ශ්‍රී ලංකාව වගේ රටකට ආර්ථික වශයෙන් තිබෙන වාසි අවාසි පිළිබඳ නිසි තක්සේරුවකින් තොරව කෙරෙන මෙවැනි ගිවිසුම් මගින් රටේ ඉදිරි අනාගතය කෙරෙහි බලපෑම් එල්ලවෙනවා. ඒ නිසා මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන් අපේ දැඩි සැලකිල්ල යොමුවිය යුතුයි.
මේ ක‍්‍රියාවලියේ තියෙන අතිශය වගකීම් රහිත ස්වභාවය විද්වතුන්, වෘත්තිකයන් පෙන්වා දී තියෙනවා. අපි ප්‍රජාතන්ත්‍රීය ආණ්ඩුකරනයක් ගැන කතා කරනවා නම් මේ ක්‍රියාවලියේ තිබෙන විනිවිද භාවය ඉතාම වැදගත් වෙනවා. නමුත් ඒවා සිදුවුණේ ඉතාම රහසිගත ආකාරයටයි.
ජාත්‍යන්තර ජාල තුල කටයුතු කරමින් විශේෂ වාසි ලබා ගන්නා පිරිසක් මෙම වෙළඳ ගිවිසුම් පිටුපස්සේ ඉන්නවා. මේ ගිවිසුමේ තිබෙන අතිෂය තාක්ෂණික ස්වභාවය සාමාන්‍ය ජනතාවට තේරුම් ගැනීමට අපහසුයි. ඉතාම සියුම් විශේෂඥ ඥානයක් තියෙන අයකුට පමණයි ඒ භාෂාව පවා අවබෝධ කරගැනීමට හැකියාව ලැබෙන්නේ. ඒ නිසා ඒ අයට පුළුවන් මේවට ආවරණය වෙමින් මෙම භයානක ක‍්‍රියාවලියේ නිරත වන්න. ‘‘
ජල සම්පාදන මණ්ඩලයේ ඉංජිනේරු සංගමය, ශ්‍රී ලංකා මිනින්දෝරු ආයතනය, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය, ශ‍්‍රි ලංකා තොරතුරු තාක්ෂණික වෘත්තිකයන්ගේ සංගමය, රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය, ශ්‍රී ලංකා වෘත්තීයවේදීන්ගේ ආයතනය, ශ්‍රී ලංකා වාස්තු විද්‍යා ආයතනය ආදී සංගම් 49ක වෘත්තියවේදීන් 53 000 කගේ සහභාගීත්වයෙන් ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙන බව ද මාධ්‍ය හමුවේදී වෘත්තීය සංගම් නියෝජිතයෝ පැවසූහ.
COMMENTS
ජාත්‍යන්තර විශේෂඥ වෘතිකයින්ට තිබෙන භීතිකාව තමයි මේ ප්‍රදර්ශනය කරන්නේ. අපේ රටේවෘතිකයින්ට පිටරට යන්න අවස්තාවක් ලැබුණොත් එහෙම වීසා ගන්න පෝලිමේ යයි.. පිටරට වෘතිකයන් මෙරටට ගෙනල්ලා කාර්යක්ෂමව වැඩ කරන හැටි මේ අයට උගන්වන්න ඕන.
ඔව් ඉතින් සිංගපුරු ක්‍රමය වගේ මෙහෙත් කෙරුවා නම්,උඹලට පගාවේ වාසිය ලැබෙන්නේ නැහැනේද,එකයි ඔය තරම් විරුද්ධවෙන්නේ (අ)
අපේ වෘතකයින්ට බිය වැඩිවෙලා, ඇඟ සීතල වෙලා,