තරිඳු ජයවර්ධන

යාපනය පුංකුඩුතිව්හි විද්‍යා දැරියගේ ඝාතනය සම්බන්ධ  නඩු විභාගයට දින නියම කර ඇතත් සැකකරුවකු මුදා හැරීමට ආධාර අනුබල දීමට සම්බන්ධ බව කියන ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා ගැන නීතිපති උපදෙස් තවමත් නැතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

ගම්වාසීන් විසින් අල්ලා ගස් බඳිනු ලැබූ එක් සැකකරුවකු අත්අඩංගුවට නොගෙන මුදා හැරීමට මෙන්ම සැකකරුට රැකවරනය දීම සම්බන්ධයෙන් ද එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා සම්බන්ධයෙන් රහස් පොලිසිය නීතිපති උපදෙස් පතා ඇතැයි නීතිපති දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

විද්‍යා දැරිය ඝාතනය සම්බන්ධයෙන් ගම්වැසියන් විසින් ගස් බඳිනු ලැබූ සැකකරු සැඟවී සිටිය දී නීති ප්‍රවීණයකු සමඟ ඔහු සොයා සිවිල් පොලිස් නිලධාරීන් දෙදෙනකු යවන ලෙස මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා තවත් උසස් පොලිස් නිලධාරියකුට උපදෙස් දී ඇතැයි අනාවරණය වී තිබේ. ඒ අනුව එම උසස් පොලිස් නිලධාරියා නීති විශාරදයකු සමඟ උප පොලිස් පරීක්ෂකවරයකු සහ පොලිස් කොස්තාපල්වරයකු යවා ඇති බවත්, සැකකරු පොලිසියට ගෙන ආ පසු ඔහුට ගම්වාසීන් පහර දී ඇති බවට පැමිණිල්ලක් සටහන් කර රෝහල් ගත කරන ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා උපදෙස් දී ඇති බවත් රහස් පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියාගේ උපදෙස් අනුව සැකකරු මුදා හරිනු ලැබ ඇති බවත්, නීති විශාරදයාගේ වාහනයක සැකකරු කොළඹ පැමිණ සැඟවී සිටිය දී පොලිසිය අත්අඩංගුවට  පත්වූ බවත්, සැකකරු මුදා හැරීම සම්බන්ධයෙන් ප්‍රකෝප වූ ප්‍රදේශවාසීන් යාපනය උසාවියට ගල් ගැසූ බවත් නීතිපති දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පවසයි.

සැකකරු මුදා ගැනීම සම්බන්ධයෙන් එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියාගේ නිවසේ සාකච්ඡාවක් පැවැත්වූ බවට ද රහස් පොලිසියට තොරතුරු ලැබී තිබේ.

මෙම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා සම්බන්ධයෙන් නීතිපති උපදෙස් පතා ගොනුව නීතිපති දොපර්තමේන්තුවට යවා තිබුණද තවමත් නීතිපති දෙපාර්තමේන්තුවෙන් පිළිතුරක් ලැබී නැත. සිසුවිය ඝාතනයට සම්බන්ධ බව කියන සැකකරුවන්ට එරෙහි නඩුව මේ මස 28 වැනි දා සිට ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ යාපනයේදී විභාගයට ගැනීමට නියමිතය.