සුදත් එච්. එම්. හේවා සහ අංජුල මහීක වීරරත්න

‘හම්බන්තොට වරායෙන් රුපියල් බිලියන 46ක පාඩුවක් සිදු වුණා. ඒ මුදල තිබුණා නම් මේ ප්‍රදේශයේ සියලුම ජනතාවට නිවාස ඉදිරිකරන්නට හැකියාව තිබුණා. ඒ පිළිබඳව සෙවීමටත් අප පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරනවා. ඒ බිලියන 46ක මුදල රටට නැතිවුණේ කෙසේදැයි අප හොයනවා.‘ යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවේ හැටන් ඩි. කේ. වීරතුංග සංස්කෘතික කේන්ද්‍රයේදී පැවති රැස්විමක් අමතමිනි.

‘‘ශ්‍රී ලංකා ගුවන් සේවයට සිදුවූ පාඩුව පිළිබව කබීර් හෂීම් ඇමැතිතුමා සමග සාකච්ඡා කළා. ඒ වන විට ගුවන් සමාගම අලාභ ලබනවා. ඉතින් ඉදිරියට ගෙන යන්නේ කෙසේද? රාජපක්ෂ රෙජීමය විසින් ඒ 332 සුඛෝපභෝගී ගුවන් යානා අටක් මිලදී ගෙන තිබෙනවා. එම ගුවන් යානාවලට ඇමෙරිකාවේ චිකාගෝ නුවර දක්වා නොනවත්වා ධාවනය කිරීමට හැකියාව තිබෙනවා. නමුත් ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් දැනට ක්‍රියාත්මක වන්නේ එංගලන්තයේ ලන්ඩන් නුවර දක්වා පමණයි. නමුත් මොවුන් මිලදීගත් ගුවන් යානාවලට ලන්ඩන් නුවරට මෙන් දෙගුණයක දුරක් යාමට හැකියාව තිබෙනවා. මෙලෙස අවිධිමත් අයුරින් මිලදී ගත් ගුවන් යානාවලින් අප කරන්නේ මොනවාද? අප ගුවන් සමාගම අලාභ ලබන්නේ මේ ආකාරයේ තීරණ නිසයි. එම ගුවන් යානා නිසා ලැබූ අලාභය බිලියන 135ක් බව කිව යුතුයි. හම්බන්තොට වරාය නිසා බිලියන 46ක අලාභයක් රටට සිදු වුණා. මේ සියල්ලෙහිම එකතුව බිලියන 181ක් වෙනවා. මේ පාඩුව සිදුවන විට ලංකාදීපය කළේ කුමක්ද? දිවයින කළේ කුමක්ද? අද පත්තරේ කළේ කුමක්ද? ඩේලිමිර්ර් පුවත්පත කළේ කුමක්ද? මා මේ දේවල් කීවායැයි ඩේලි මිරර් පුවත්පත මට පක්ෂ නායකත්වයෙන් ඉවත් වන ලෙසත්  පැවසුවා. අද ඔවුන් කතා කරන්නේ කොහොමද?‘‘ යැයි ද අගමැතිවරයා කීවේය.

‘ අද මෙතනට ඇවිත් ඉන්න අය නිදහසේ සිටිම පිළිබඳව සතුටුයි. අපි ඔක්කොමලා එකතුවෙලා මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති කර  යහපාලනයක් ඇතිකළේ මේ වගේ නිදහසක් උදාකරගන්නයි. මීට ඉස්සර මෙහෙම දෙයක් තිබුණේ නැහැ. එය තිබුණේ සිමිත පිරිසකට විතරයි.

එත් දැන් මේ ජනතාව බයක් නැතිව ජිවත් වෙනවා. අද ජාතිවාදය ආගම්වාදය නැහැ. දැන් නිදහස තියෙනවා අපි ස්වාධීන කොමිසන් සභා පත්කරලා තියෙනවා. පොලිසිය වෙනුවෙන් ජනතාව වෙනුවෙන් එම ස්වාධීන කොමිසන් ක්‍රියාත්මක වෙනවා. පාර්ලීමේතු කාරක සභා ස්ථාපිත කර තියෙනවා. එයට ඕනැම අයකු ගෙන්වන්න පුළුවන්.

තොරතුරු නිදහස ස්ථාපිත කර  තියෙනවා. මේ වගේ නිදහසක් ඉස්සර තිබුණාද? සිරස හැමදාම මට බනිනවා. එත් මම ඒ ආයතන ගිනි තියන්න ගියේ නැහැ.  

දැන් අපි දුෂණ ගැන හොයාගෙන යනවා. දුෂණ කරලා බේරෙන්න බැහැ. පසුගිය රජයේ දුෂණ හොයාගෙන යනවා. සමහර ඒවාට පොලිසිය නඩු දාලා තියෙනවා. සමහර ඒවා නීතිපතිට දාලා තියෙනවා. මහ බැංකු ප්‍රශ්නයක් තිබුණා. මම මුලින්ම කොමිටියක් පත් කළා. පසුව පාර්ලිමේන්තු පොදු ව්‍යවසාය කාරක සභාවක් පත්කළා. අපි ඡන්දය දිනුවත් එහි සභාපති කළේ විපක්ෂයේ අයෙක්.

එයට පසුව ජනාධිපති කොමිසමක් පත්කළා. කවුරුවත් එයට විරුද්ධ වුණේ නැහැ. අද නිදහස කොයිතරම්ද කිව්වොත් ඇමතිවරුන් එයට ගෙන්වනවා. නිතිපති ප්‍රශ්න කරනවා. ඉස්සර එහෙම වුණාද? නිතිපති වුණේ ජනාධිපතිගේ ගෝලයෙක්. ඉස්සර මෙහෙම වුණානම් නීතිපති අස්කරලා නැතිනම් සුදු වැන්වලින් උස්සලා .

මම එකක් කියනවා මේ ආණ්ඩුවේ දුෂණය කරන කවුරුවත් තියාගන්නේ නැහැ අපේ පක්ෂය හොරුන්ගේ පක්ෂයක් නොවෙයි. හොරු හිටියොත් අයින් කරනවා. එත් එය විනිවිද භාවයෙන් කරන්න දෙන්න.

අපි දැන් ඇමරිකාව වගේ. එහි දැන් කොයි තරම් කොමිසන් සභා පත් කරනවාද . එහි හොරු ඔප්පු වුණොත් අස්කරනවා. සමහර අවස්ථාවලදි මගදි ඉල්ලා අස්වෙනවා. ඇමරිකාවේ එංගලන්තයේ එහෙම වෙනවා ලංකාවෙත් එහෙම වෙනවා එත් මාධ්‍යට බැහැ මේ ගැන කතා කරන්න .

ලංකාදිපය කොයිතරම් කඩේ ගියාද? දිවයින කොයිතරම් කඩේ ගියාද? දිනමිණ කොයිතරම් කඩේ ගියාද? සිළුමිණ කොයිතරම් කඩේ ගියාද? දෙරණ කොයිතරම් කඩේ ගියාද? අද කොයිතරම් කඩේ ගියාද? කඩේ ගිය නැති කෙනෙක් කියන්න. එහෙම කරලා දැන් කියනවා මෙහි හොරු ඉන්නවා කියලා.

මට ඕන නම් එදා අගමැති කාර්යාලයෙන් කාපු අයගේ නම් කියන්නත් පුළුවන්. ලසන්තට මොකද කළේ? ඔහු මරලා දැම්මා. එක්නැලිගොඩට මොකද කළේ? ඔහු උස්සන් ගිහින් මරලා දැම්මා . දැන් මේ ගැන හොයන විට කියනවා හොයන්න එපා මෙය ජාතික ආරක්ෂාට තර්ජනයක් කියලා.

අපිට ඡන්දය දුන්න අයට අවශ්‍ය වන්නේ දුෂණයෙන් තොර සමාජයක්.. අපි එය කළේ නැතිනම් අපිට ඊළඟ සැරේ ඡන්දය ලැබෙන්නේ නැහැ. හොරකම් කළොත් අහුවෙනවා . ඒ නිසා හොරකම් කරන්න එපා . දැන් බලන්න ට්‍රප්ගේ බිරිඳ ගැනත් හොයනවා. අහුවුණොත් යන්න වෙනවා.