(තරිඳු ජයවර්ධන)
ගම්පහ රතුපස්වල පිරිසිදු පානීය ජලය ඉල්ලූ ප‍්‍රදේශවාසීන්ට යුද හමුදාවෙන් වෙඩි තැබූ අවස්ථාවේ රවිශාන් පෙරේරා නම් සිසුවාට වෙඩි තැබූ ස්ථානයේ මූනිස්සම් කොටස් සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (18) පැය හතරක් පුරා විශේෂ සෝදිසි මෙහෙයුමක් කළේය.
වැලිවේරිය හෙලන්වත්ත පාරේ පිහිටි එම ස්ථානයේ තාප්පවල අද (18) වන විටත් වෙඩි සලකුණු තිබිණි.
වෙඩි සලකුණු සහිත ප‍්‍රදේශවල පාර අයිනේ මතුපිට පස් ඉවත් කරමින් රහස් පොලිසිය මූණිස්සම් කොටස් තිබේදැයි සොයා බැලීය. පැය හතරක් පුරා සෝදිසි කළත් මූණිස්සම් කොටස් සොයා ගැනීමට නොහැකි විය.
කොළඹ අධිකරණ වෛද්‍ය විශේෂඥ අජිත් තෙන්නකෝන් මහතා එම ස්ථානයට ගෙන්වා යළිත් විමර්ශනයක් සිදු කිරීමට නියමිතය.
වැලිවේරිය හෙලන්වත්ත පාරේ මීටර 150ක් පමණ ඇතුළට වන්නට පිහිටි එම ස්ථානයේ සෝදිසි මෙහෙයුම් අද (18) උදේ 10.30ට පමණ ආරම්භ වූ අතර සවස 2.30ට පමණ සෝදිසි මෙහයුම අවසන් කෙරිණ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් මුණසිංහ මහතාගේ සහ උප පොලිස් පරීක්ෂක උපාලි බණ්ඩාර මහතාගේ මෙහෙයවීමෙන් කරන ලද සෝදිසියට වැලිවේරිය පොලිසියේ සහ ගම්පහ සොකෝ අංශයේ නිලධාරීහු ද එක්ව සිටියහ.
2013 අගෝස්තු පළමු වැනි දා යුද හමුදාවෙන් කළ වෙඩි තැබීමෙන් පාසල් සිසුන් දෙදෙනෙක් ඇතුළු තිදෙනෙක් මිය ගියහ. තවත් විශාල පිරිසක් තුවාල ලැබූහ. මෙම වෙඩි තැබීමේ දී රමිල රවිශාන් පෙරේරා නම් සිසුවා මිය ගිය ස්ථානය මීට පෙර පරීක්ෂණ පැවැත්වූ කොළඹ අපරාධ කොට්ඨාසය හඳුනාගෙන නොතිබිණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවැත්වූ විමර්ශනයේදී සිද්ධියෙන් වසර තුන හමාරකට පමණ පසු පසුගිය අපේ‍්‍රල් මාසයේ දී එම ස්ථානය හඳුනා ගත් බව රහස් පොලිසිය මීට පෙර අධිකරණයට දැනුම් දුන්නේය.




COMMENTS
මාතලේ පසුගිය අවුරුදු වල හැට දෙනෙකුගේ ඇටකටු හමුවුනා රෝහලට අලුත් ගොඩනැගිල්ලක් සැදීමට පටන් ගත කාලේ . එකත් විමර්ශනය කරන්න.
දැන් ඉතින් මොකක් හොයන්නද. මේකේ බුලට් හොයන්නේ නැතුව මේකට වෙඩි තියන්න අවසර දීපු අය හොයල දඬුවම් කරන එක තමයි හොඳ.
පුදුම විහිළු වැඩ..
අවනීතියක තරම, අවුරුදු 4ක් ගියාද මූලික පරීක්ෂණ කරන්න? මේක නම් පුදුමාකාර අවාසනාවක්.
වසරේ හොඳම විහිලුව. ඉක්මන් වැඩියි තව අවුරුදු කිහිපයක් ප්‍රමාද වුනාට කමක් නැහැ
වසර 4 කට පස්සේ මුනිස්සම් හොයන්න අණ දීපු එක්කෙනාගේ මොළේ පරීක්ෂාවක් කලින් කරා නම් අද මෙවැනි විමසුම් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. වෙරළ පැත්තේ ගියා නම් "මුනිස්සම්" වෙනුවට, හොද්දක් උයන්න "කුනිස්සන්" ටිකක් හොයා ගන්න තිබ්බා, මේ නිලධාරීන්ට !!!!