(විනීතා එම් ගමගේ)

ශ්‍රී ලංකාවේ ප‍්‍රදේශ ගණනාවක පැතිර ඇති කෘෂිකාර්මික වකුගඩු රෝගයේ හේතු මූලය මේ වසර අවසන් වීමට පෙර හෙළිකර ගත හැකි වනු ඇතැයි වකුගඩු රෝග පිළිබඳ පර්යේෂකයෙකු වන රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

මේ පිළිබඳව ස්වීඩනයේ ස්ටොක්හෝම් හි කැරොලින්ස් විශ්ව විද්‍යාලයේ දී කළ පර්යේෂණ අවසන් බවත්, මධ්‍යම ඇමරිකාවේ සහ ශ්‍රී ලංකාවේ ඇති කෘෂිකාර්මික වකුගඩු රෝගයේ සමානතා දැකිය හැකි වූයේ එම පර්යේෂණවලදී බවත් ජයසුමන මහතා ලංකාදීපයට පැවැසීය.

ලෝකයේ රටවල් 129 ක නියෝජිතයින් ගේ සහභාගිත්වයෙන් මෙක්සිකෝවේ මෙක්සිකෝ නගරයේ ඉකුත් 21 දා සිට 23 දක්වා පැවැත්වූ වකුගඩු රෝගය පිළිබඳ ලෝක සමුළුවේදී මෙම පර්යේෂණය පිළිබඳ පත‍්‍රිකාවක් ඉදිරිපත් කළ බව ද වෛද්‍ය ජයසුමන මහතා සඳහන් කළේය. 

මේ පිළිබඳ අවසන් පර්යේෂණ මේ වනවිට බෙල්ජියමේ දී සිදුවන බවත් ඉන්පසු මෙම රෝගය පිළිබඳ 100 % නිවැරදි තොරතුරු හෙළි කර ගත හැකි වනු ඇති බවත් ජයසුමන මහතා තවදුරටත් පැවසීය.