(රංජිත් රාජපක්‍ෂ)

ලක්‍ෂපාන ජල විදුලි බලාගාර සංකිර්ණය යටතේ පාලනය වන ජල විදුලි බලාගාර සේවකයින්ගෙන් 90%ක් පමණ අද (13)දහවල් 12 සිට සේවාවලින් ඉවත් වූ බව ලක්‍ෂපාන විදුලි සේවක සංගමයේ විධායක සභික විදුලි අධීකාරි ඩබ්ලිවි.එමි.ජේ.ඒ ප‍්‍රනාන්දු මහතා පවසයි.

ලං.වි.ම වෘත්තිය සමිති කිහිපයක් ආරම්භ කර ඇති වැඩ වර්ජනයට සහයෝගය දක්වමින්  මෙලෙස සේවාවලින් ඉවත් වූ බවද ඒ මහතා කියයි.

කැනියොන් , ලක්‍ෂපාන ,  නව ලක්‍ෂපාන , පොල්පිටිය සහ විමලසුරේන්ද්‍ර යන ජල විදුලි බලාගාරවල සේවකයින් 450කගෙන් 400ක් පමණ මෙම වැඩ වර්ජනයට එක්වූ බවද ඒ මහතා ප්‍රකාශ කරයි.

වැඩවර්ජනයට එක් නොවූ සීමිත සේවක පිරිසගෙන් විදුලිය බිඳ වැටිමකින් තොරව අඛණ්ඩව විදුලිය ලබාදිමට නොහැකි බවද ඒ මහතා කියයි.

හැටන් විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ සේවකයින් කිහිප දෙනෙක් ද වැඩ වර්ජනයට එක්වූහ.

විදුලිය බිඳවැටිමකින් තොරව හැටන් පාරිභෝගික සේවා මධ්‍යස්ථානය යටතේ පාලනය වන සියළුම විදුලි පාරිභෝගිකයන්ට විදුලිය ලබාදිමට උපරිම අයුරින් කටයුතු කරන බව එම මධ්‍යස්ථානයේ විදුලි අධිකාරි එස්.එම්.එන් සමරකෝන් මහතා පවසයි.