(කාංචන කුමාර ආරියදාස)
රට ආරක්ෂා කර ගැනීම සඳහා බුද්ධිමතුන් උගතුන් ඇතුළු රටට ආදරය කරන ජනතාවගෙන් ජන පවුරක් කඩිනමින් සැකසිය යුතු බවත් එසේ නොවන්නේ නම් රටේ හෙට දවස විශාල අනතුරකට මුහුණ පාන බවත් සියම් මහා නිකායේ රංගිරි දඹුලු පාර්ශ්වයේ මහා නායක ආචාර්ය ඉනාමළුවේ ශ්‍රී සුමංගල මහනාහිමියෝ අද (05) පැවසූහ.
දඹුල්ල උයන්වත්ත රජමහා විහාරයේ පැවති මාධ්‍ය හමුවකදී මහනාහිමියෝ මේ බව පැවසූහ. එහිදී ආචාර්ය ඉනාමළුවේ සුමංගල මහා නාහිමියෝ කියා සිටියේ අධ්‍යාපනයක් නොමැති දේශපාලන අධිකාරිය නිසා රට වේගයෙන් විනාශ මුඛයට ඇද යන බවත් දීර්ඝ කාලයක් දේශපාලනය පිළිබඳව කිසිවක් ප්‍රකාශ නොකර සිටි නිසා බොහෝ ජනතාව තමන් වහන්සේගෙන් මේ පිළිබඳව විමසීමක් කරන නිසා මෙම මාධ්‍ය හමුව කැඳවා මෙම ප්‍රකාශය කරන බවත්ය.
ඉදිරියේදී දේශපාලනයට පිවිසෙන අය සඳහා අධ්‍යාපන සුදුසුකම් සොයා බැලීම කළ යුතු බවත් එසේම දේශපාලඥයන් සඳහා වෙනම ඉගැන්වීම් මධ්‍යස්ථානයක් ආරම්භ කොට එහි ඉගෙන ගැනීමෙන් පසු ලැබෙන සහතිකයත් සමඟ දේශපාලනය කිරීම සඳහා නාමයෝජනා බාර ගැනීමේදී විශේෂ සැලකිල්ල දැක්වීම නොකළ හොත් රට බරපතළ අර්බුදයකට මුහුණ දෙන බවද උන්වහන්සේ මෙහිදී සඳහන් කළහ.
උගතුන් බුද්ධිමතුන් දේශපාලනයට පැමිණිය යුතු බවත් අවම තරමේ සාමාන්‍ය පෙළ විභාගය වත් සමත් නොමැති දේශපාලඥයන් රටේ අනාගතය ගැන තීන්දු තීරණ ගන්නේ කෙසේදැයි උන්වහන්සේ ප්‍රශ්න කරන්නට වූහ.
මන්ත්‍රීවරුන්ට මහ බැංකුව කැඩූ මුදල් බෙදා දී ඇලෝසියස් මහතා සරදියෙල් කෙනෙකු මෙන් ක්‍රියා කළ බවත් සරදියෙල් ඇති හැකි අයගෙන් මුදල් ලබාගෙන නැති බැරි අයට දුන් නමුත් ඇලෝසියස් කර ඇත්තේ අහිංසක ජනතාවගේ මුදල් ගෙන ඇති හැකි දේශපාලනඥයන්ට බෙදාදීම බවත් මහනාහිමියෝ පැවසූහ.
පසුගිය කාලයේ කතාබහට ලක්වූ දින 100 වැඩපිළිවෙළ මෙරට අසාර්ථක වැඩපිළිවෙළක් බවත් එහෙත් එය මීට වසර ගණනාවකට ඉහත දී ඇමරිකානු ජනාධිපතිවරයෙකු විසින් ඉදිරිපත් කළ වැඩපිළිවෙලක් බව ද උන් වහන්සේ ප්‍රකාශ කළහ.
එය මීට වසර 85 ඉහත දී ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු විසින් ඉදිරිපත් කළ එකක් බව ද පෙන්වා දුන්හ .එය කොපි කිරීමක් බව ද උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළහ.
ඩඩ්ලි සේනානායක මහතාගෙන් පසු ශ්‍රි ලංකාවේ මෙතෙක් ජාතික නායකයකු බිහිවී නොමැති බවත් මෙරට දැනට ජාතික නායකයන් ලෙස හඳුනාගෙන ඇත්තේ පක්ෂ නායකයින් බවත් ඔවුන්ට ජාතික නායකත්වයක් හෝ රට ගැන නායකත්වයක් දීමට මනා දැනුමක් නොමැති බව ද උන්වහන්සේ පෙන්වා දුන්හ.
වර්තමාන දේශපාලඥයන් කියා ගන්නා පිරිස් පක්ෂ නායකයින් පමණක්ම බවත් ඔවුන් ඡන්ද දායකයන් හා තමන්ගේ මැතිවරණ ආසනය පමණක් ආරක්ෂා කර ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගන්නා පිරිසක් බව ද උන්වහන්සේ පෙන්වා දුන්හ.
මෙරට දේශපාලනඥයින් විරුද්ධ පක්ෂයේ සිටියදී කෙසේ හෝ උත්සාහ කරනු ලබන්නේ පවතින ආණ්ඩුව පෙරළා දමා බලය ලබාගැනීම පමණක් බවත් බලයේ සිටින නායකයින් යැයි කියා ගන්නා පිරිස කරනු ලබන්නේ බලය තහවුරු කරගැනීම සඳහා මන්ත්‍රීවරුන්ට විවිධ තනතුරු ලබා දී බලය ආරක්ෂා කර ගැනීම සඳහා උත්සාහ ගැනීමක් පමණක් බවත් උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළහ.
COMMENTS
සම්පුර්ණයෙන්ම එකඟයි. අද පරිහානියට යන්නේ මේ දේශපාලකයන් නිසා. උගත් එහෙත් ජනතාවගේ ඇත්ත දන්නා අය දේශපාලනයට එන්න ඕන. මේ තරම් දේශපාලකයෝ ගොඩක් මොකටද මේ පුංචි රටේ මොනවද කරන්නේ තියෙන්නේ.
අපේ ගරුතර හාමුදුරුවනේ. දැන් තියන තත්ත්වය අනුව නම් ජන පවුරක් තියා චීන මහා ප්‍රාකාරය බැන්දත් මේ ජාතික හෝදා පාළුව නවත්වන්න පුළුවන් වේ යයි හිතන්න අමාරුයි. මේ ආණ්ඩු ඔක්කොම හදා ගත්තේ මහා ජන ඡන්දයෙන් . ඕන මගුලකට රැවටෙන මෝඩ ජනතා බහුතරයක් සිටින රටක ජනමතය කවදාවත් යහපත් සාධාරණ එකක් වෙන්නේ නැහැ.
ඩඩ්ලි සේනානායක මහතාගෙන් පසු ශ්‍රි ලංකාවේ මෙතෙක් ජාතික නායකයකු බිහිවී නොමැති බව නිතරම මටත් සිතෙන දෙයක් නායක හාමුදුරුවනේ. ඉතාම අහිංසක මිනිසා කෙරෙහි කරුණාවෙන් දයාවෙන් කටයුතු කරපු නායකයෙක්. ඡන්දයට ඉදිරිපත් වන සැම කෙනෙකුගේම අධ්‍යාපන සහතික පත්‍ර පරීක්ෂා කිරීම ඉතාම වැදගත් කරුණක්. එමෙන්ම මානසික හැකියාව මැනිය යුතු ක්‍රමවේදයක් ඇති කිරීම සහ සාමාන්‍ය දැනුම පිළිබඳව විභාගයක් පවත්වා සම්මුඛ පරීක්ෂණයක් පවතවා ඡන්දය ඉල්ලීමට සුදුසු පුද්ගලයෙක්ද යන්න නිගමනය කිරීම. පළාත් සභා ක්‍රමය අහෝසි කිරීම සහ පරිපාලන විද්‍යාව හැදෑරු උපාධිදරයන්ට නැවත පාලන බලය පැවරීම කල යුතුය. අනිත් කරුණ නායක හාමුදුරුවනේ දඹුල්ලේ වෙළඳ මධ්‍යස්ථානයේ විසිකරන එළවලු විශාල ප්ලාස්ටික් ගෝනි ඇතුලෙම තියෙද්දී තමයි කැලයට විසි කරන්නේ. අලින් රංචු පිටින් ඇවිල්ලා අර ප්ලාස්ටික් ගෝනි පිටින්ම කාලා ශරීරය ඇතුලේ හිර වෙලා ඔවුන් නිකරුනේ දුක් විඳලා මිය යනවා. ඔබ වහන්සේට මේ පිළිබඳව යම්කිසි පියරක් ගැනීමට පුලුවන්නම් එය සත්වයාට කරන ඉතාම කාරුණික කටයුත්තක්. ඔබ වහන්සේට නීරෝගී සුවය ලැබේවා.
ජනපව්රු වලට රට ආරක්ෂා කරන්න භාර දුන්නොත් අවුලෙන් අවුලට යනවා. රටේ ආරක්ෂාවට නේද ආරක්ෂක හමුදා රටේ ස්ථාපිත කර ඔවුන්ට පඩිනඩි ගෙවන්නේ. රටේ පාලන ක්‍රමය එම ආරක්ෂක පද්ධතීන් නිසිලෙස කළමනා කරණය නොකිරීමෙන් ප්‍රශ්න පැනනැගීම වෙනම ප්‍රශ්නයක් .
ඔබ වහන්සේගේ අදහස් වලට 100% එකගයි. මමද මෑතකදී මාධ්‍ය ආයතනයකට සම්බන්ධ මගේ මිතුරෙකුට මේ දෙයම යෝජනා කලා. එවිට ඔහු පැවසුවේ අපේ රටේ එවැනි දෙයක් කරන්න ප්‍රයෝගික නොවන බවත් එයට පක්ෂ දේශපානය විශාල බාධකයක් බවත්ය. එමෙන්ම ප්‍රජාතාන්ත්‍රික රටක ඕනෑම කෙනෙකුට මහජන නියෝජිතයකු විය හැකි බවත්ය. නමුත් මගේද අදහස වන්නේ , අඩුම තරමේ නියෝජ්‍ය අමාත්‍ය වරයකු හෝ රාජ්‍ය අමාත්‍ය වරයකු වීමට විශේෂ ඩිප්ලෝමා පාටමලාවක් හැදෑරිය යුතු බවත් , කැබිනට් අමාත්‍ය වරයකු වීමට විශේෂ උසස් ඩිප්ලෝමා පාඨමාලාවක් හැදෑරිය යුතු බවත්ය. එම පාඨමාලා සදහා ජාත්‍යන්තර දේශපානය , නීතිය , ජාත්‍යන්තර වෙළදාම සහ ගිවිසුම් , උපාය මාර්ගික සැලසුම් , ජාතික උරුමයන් සහ ජාතික ප්‍රතිපත්ති පිළිබද කරුණු ඇතුලත් කළ යුතුයි. මේ සදහා , විශ්ව විද්‍යාල මට්ටමින් යම් බුද්ධිමතුන් එක්වී කටයුතු කිරීමත් , පක්‍ෂග්‍රාහී නොවී ඉහල ගුණාත්මක පාඨමාලාවක් ලබාදීමත් තුලින් රට ගොඩ නැගිය හැකිය,..
සීයට සීයක්ම ජනතාවගේ අපේක්ෂාව මෙයයි අපේ නායක හාමුදුරුවනේ...........
රටට උරදෙන්න බුද්ධිමතුන් උගතුන් එකතු කරන එක "ලාහට ගෙම්ම්බෝ එකතු කරනවා වගේ" වැඩක් වේවි.
ඔබ වහන්සේ නිවැරදියි. ඇමතිවරු පත්කරන්නේ විද්‍යාත්මක පදනමකට කිව්වට ඉන්න ඔක්කොම අය බඩ ගොස්තරවාදියෝ නම් කවුරු කොහොම පත්කළත් රටම වල පල්ලට තල්ලු කරන එක තමයි එයාල කරන්නේ.
කව්රුත් නොසිතපු හොද යෝජනා
නායක හාමුදුරුවනේ ,මෙතෙක් නිහඬව සිට කේසර සිංහයකු මෙන් අවදිව ජාතියට නායකත්වය දීමට උත්සාහ කරන ඔබවහන්සේට තෙරුවන් සරණින් හා දෙවි රැකවරණින් අවශ්‍ය ශක්තිය හා දිරිය ලැබේවායි , ප්‍රංශයේ සිට ප්‍රර්ථනා කරමි .
ඔබවහන්සේලා ඉදිරියට නොඑනතාක් එවන් ජනපවුරක් කිසිලෙසකින්වත් බිහි නොවන අතර, ඔබවහන්සේලා මැදිහත්වයෙන් එවන් ජනපවුරක් තනන්නේනම්, පක්ෂ ගොහොරුවේ එරී සිටින අය සහ මධ්‍යස්තමතධාරී අයද ඔබවහන්සේලා සමග එක්වනු ඇත. ඔබවහන්සේගේ සිතුවිල්ල එලෙසින්ම ඉටුවේවා...!!!
රජින්ද ඔබගේ අදහස හරියි