(බී.ජී. චතුරංග)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ පුතෙකු පැදවූ කැබ් රථයක් සහ යතුරු පැදියක් ගැටී යතුරු පැදිකරු බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට අද (02 ) ඇතුළත් කළ බව මිහින්තලය පොලීසිය පවසයි.

කැබ් රථ රියදුරු අනුරාධපුර ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ප්‍රබල මන්ත්‍රීවරයකුගේ පුතෙකු බව කියැවේ.යතුරු පැදිකරු මිහින්තලය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මෙලෙස අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබේ.

අනුරාධපුර මාතලේ හන්දියේ සිට නුවරපාරේ කලත්තෑව දෙසට ගමන් කර ඇති යතුරු පැදිකරු කීරියගස් හන්දියේදී මාර්ගයේ වැරදි දිශාවෙන් පැමිණි බව කියන කැබ්රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවත් එම කැබ්රථය යතුරුපැදියේ ගැටී මාර්ගයෙන් ඉවතට පැන අසල කාණුවක ද ගැටී නතරවී තිබූ බව පොලීසිය පවසයි.
 
යතුරුපැදිකරුගේ තත්ත්වය තරමක් බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසයි.සැකකාර කැබ්රථ රියදුරා අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති අතර අනතුර සම්බන්ධයෙන් මිහින්තලේ පොලීසිය වැඩිදුර පරීක්ෂණ කරයි.