(ඩයනා උදයංගනී)
මන්නාරම් දිස්ත‍්‍රික්කයේ මඩු දේවස්ථානය පිහිටි ප‍්‍රදේශය පූජා භූමියක් ලෙස ප‍්‍රකාශයට පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.
කිතුනු බැතිමතුන්ගේ වන්දනාමානයට මෙන්ම අනෙකුත් ආගමිකයන්ගේ ද ගෞරව භක්තියට ලක්වූ ඓතිහාසික පූජා භූමියක් වන මඩු පූජා භූමිය ආරක්‍ෂා කිරීමත්, එම ස්ථානයට පැමිණෙන්නා වූ ජනතාවට අවශ්‍ය පහසුකම් සැපයීමත් කාලීන අවශ්‍යතාවයක් සේ සළකා කටයුතු කිරීමට ද ජනාධිපතිවරයා එම අමාත්‍ය මණ්ඩල යෝජනාව මගින් ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව එම ප‍්‍රදේශය ආශ‍්‍රිතව ප‍්‍රවාහන හා මාර්ග පහසුකම්, ජලාපවහන පද්ධති හා සනීපාරක්‍ෂක පහසුකම් වැඩිදියුණු කිරීමත්, එම පූජාභූමිය වෙත පිටතින් පැමිණෙන ජනතාව වෙනුවෙන් නවාතැන්, විශ‍්‍රාම ශාලා ආදී විශේෂ පහසුකම් සැපයීමත් ඇතුළත් විශේෂ සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමට ද නියමිතය.
වාර්ෂික මඩු මංගල්‍යය අවස්ථාවේ මෙන්ම වසර පුරා වන්දනාකරුවන් මෙන්ම දෙස් විදෙස් සංචාරකයින් රැසක් මඩු දේවස්ථානය කරා ඇදී එන අතර යුද සමයේ ඇතිවූ දැඩි අලාභ හානි හා කලක් තිස්සේ නඩත්තු හෝ ප‍්‍රතිසංස්කරණ කටයුතු නොකිරීම හේතුවෙන් මඩු දේවස්ථානය අවට ප‍්‍රදේශය දුෂ්කර හා අඩු පහසුකම් සහිත ප‍්‍රදේශයක් බවට පත්ව තිබේ.
COMMENTS
අපට හැඟෙන ලෙස නම් මුළු ලංකාවම පූජා භූමියක්. මුළු රටම එකට එකතු වෙලා, උදේ හවස පිරිත්, බණ අසා සාමුහිකව දෙවියන් යැද, අනෙකාට වින කරන්න ප්‍රාර්ථනා කරන, ඇතුලාන්තය හිස් වුවත්, ප්‍රදර්ශනයට ධාර්මිකව වෙසෙන සිල්වත් ජනතාවක් සිටින ලෝකයේ එකම රට...