( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
තමන්ට එරෙහිව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ විභාග වන ලිත් නඩුව වෙනත් අධිකරණයකට මාරු කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර ඇති පෙත්සම දෙසැම්බර් මස 13 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (21) තීන්දු කළේය.
එම පෙත්සම අද (21) අභියාචනාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය සහ ජනක් ද සිල්වා මහතා ඉදිරියේ කැඳවූ අතර එහිදී පෙත්සම් විභාගයට දින නියම කෙරිණි.
එදින තෙක් මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියෙහි අදාළ නඩුව විභාග කිරීම වළක්වාලමින් පනවා තිබුණ තහනම් නියෝගය දීර්ඝ කිරීමට ද අභියාචනාධිකරණය නියම කළේය.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ගොනු කළ පෙත්සමේ මෙසේද සදහන් වේ.
ඉකුත් ජනාධිපතිවරණය සමයේ දිවිනැගුම සංවර්ධන අරමුදලට අයත් රුපියල් දෙකෝටි අනූ හතර ලක්ෂයක මුදලක් වැයකොට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත ලිත් ලක්ෂ පනහක් මුද්‍රණය කර බෙදා හැරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් තමන්ට එරෙහිව නඩුවක් පවරා ඇත.
එම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ විභාග වන බව සඳහන් කරන බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා සිල් රෙදි නඩු තීන්දුව ලබා දීමේදී විනිසුරු ගිහාන් කුලතුංග වත්මන් රජයේ ක්‍රියාකලාපය විවේචනයට ලක් කර ඇති බව කියා සිටියේය.
තමා ද ඉකුත් රජයේ ප්‍රබල අමාත්‍ය තනතුරක් දැරූ බැවින් ගිහාන් කුලතුංග විනිසුරුවරයා ඉදිරියේ පවත්වන නඩු විභාගයකින් යුක්තියක් අපේක්ෂා කළ නොහැකි බව සඳහන් කරන පෙත්සම්කාර හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ හේතුවෙන් අදාළ නඩුව වෙනත් අධිකරණයක් වෙත මාරු කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටී.
COMMENTS
එදාට නොවරදවාම සම්ප්‍රාප්ත වෙයිද? නාවොත් ඉතින් තව මාස ගණනක් කල්යවන එක තමයි විකල්පය.
ඔයිට වැඩිය හොඳ නැද්ද ඔය නඩුව නැවත පත්කර ගන්නා ආණ්ඩුවක් යටතේ විභාග කරගන්නා ලෙස නියෝගයක් ආවා නම්...
මුලින්ම නඩුව විභායට ගන්න
මුලින්ම නඩුව විභාගයට ගැනීම වැලැක්වීමට නඩු පවරනවා ඒක පැරදුනාම ඊළගට උසාවිය මාරු කරන්න කියළා නඩු දානවා. ඒකත් පැරදුනොත් ආණ්ඩුව මාරු කරන්න කියලා නඩු දායිද දන්නේ නැහැ. අන්තීමට වෙන්නේ සල්ලී තියෙන කෙනා තමන්ට ඕන ඕන විදියට නීතිය නවන එක විතරයි. කවදා හරි තමන්ගේ ආණ්ඩුවක් එනකම් නඩුව අඳිවී.
ඔයගොල්ලෝ අච්චු ගහපු ලිතක්ම තියෙන හොඳම නැකතකින් බලන්න "බැසිල්ගේ ලිත් නඩුව 13 වැනිදා සිට විභාගයට" ගන්න එක සුබද, අසුබද කියල ..... අසුබ නම් මොකක් හෝ දහන්ගැටයක් ගහල, කල්දම්මා ගන්න බලන්න.....2021 වත් වෙනකම් !!!! එහෙම උනොත්නම් නිකම්ම ශේප්.