(ඉන්දිකා රාමනායක)
 
ගංජා , දුම්කොළ සහ හුණු භාවිත කරමින් පාසල් සිසුන්  ඉලක්ක කරගෙන ‘තුල්‘ නැමැති මත් දුම්කුඩු නිපදවා අලෙවි කරමින් සිටි අඹු සැමි යුවළක් කිරුළපන ප්‍රදේශයේ දී අද (11) අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි.

 
සැකකරුවන් වසර 20 ක පමණ කාලයක සිට මෙම මත්ද්‍රව්‍ය  පාසල් සිසුන් ඉලක්ක කරගෙන අලෙවි කර ඇති බවට තොරතුරු ලැබී ඇති බව පොලිසිය පැවසීය.
 
මෙම මත්කුඩු රුපියල් 20 සිට 100 දක්වා ගණන් වලට  සැකකරුවන් සිසුන්ට අලෙවි කර ඇති බවද පොලිසිය කියයි.
 
මෙම මත්ද්‍රව්‍ය භාවිතා කළ සිසුවෙකුගෙන් හෙළි වූ තොරතුරු අනුව සැකකරුවන් අත්අඩංගුවට ගත් බවත් පොලිසිය සඳහන් කළේය.
 
සැකකරුවන්ගේ මෙම මත් දුම්කුඩු භාවිතයට පාසල් සිසුන් විශාල පිරිසක්  ඇබ්බැහි වී ඇති බවත් හුණු මිශ්‍ර මෙම මත් දුම්කුඩු  බොහෝ වෙලාවක් මුඛයේ තබාගෙන සිටීමෙන් සිසුන් මුඛ පිළිකාවට ගොදුරුවීමේ ඉඩකඩ වැඩි බවද  පොලිසිය කියයි.
 
තරුණ දරුවන්ගේ මුඛයේ තුවාල තිබෙන්නේ නම් එවැනි දරුවන්  සම්බන්ධයෙන් දෙමාපියන් දැඩි අවධානය යොමු කළ යුතු බවද පොලිසිය සඳහන් කරයි.
 
මෙම යුවළගේ නිවස පරීක්ෂා කිරීමේදී එහි තිබූ දුම්කොළ ,  හුණු , ගංජා තොගයක් ද පොලිසිය බාරයට ගෙන ඇත.