(ඉන්දිකා රාමනායක)
 
නීතිවිරෝධි අවි ආයුධ, අත්බෝම්බ වැටලීම් සිදුකරන පොලිස් නිලධාරීන්ට හා  ඒවා සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන ඔත්තුකරුවන්ට  ලබා දෙන මුදල් ත්‍යාග වැඩි කිරීමට වැඩබලන පොලිස්පතිවරයා පියවර ගෙන ඇති බව පොලිස් මුලස්ථානය කියයි.

 
නීතිවිරෝධී   ගිනිඅවි , අත්බෝම්බ  සමඟ සැකකරුවන්  අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් දිවයින පුරා පොලිස් ස්ථාන මගින්  සිදුකළද, පසුගිය කාලසීමාව තුළ වාර්තා වූ ඇතැම්  අපරාධ  අනුව   නීතිවිරෝධී අවි  සහ අත්බෝම්බ රටපුරා  සංසරණය වන බවට  හෙළි වූ බවද පොලිස් මුලස්ථානය සඳහන් කරයි.
 
පවතින මෙම තත්ත්වය යටතේ  නීතියේ  ආධිපත්‍ය  ස්ථාපිත කිරීම සඳහා  මහජනයාට  බියෙන් සැකෙන්  තොරව ජීවත් විය හැකි සාමකාමී  පරිසරයක්  බිහි කිරීම සඳහා මෙවැනි මෙහෙයුම් තවදුරටත් පුළුල්ව ක්‍රියාත්මක කිරීමට පොලිස් මුලස්ථානය පියවර ගෙන   ඇත.
 
ඒ අනුව මෙම මෙහෙයුම් සඳහා සහභාගී වන සියලු පොලිස් නිලධාරීන් සහ පෞද්ගලික ඔත්තුකරුවන් දිරිගැන්වීම සදහා පොලිස් ත්‍යාග මුදල් වැඩිකිරීමට පොලිස්පතිවරයා පියවර ගත් බවද  පොලිස් මුලස්ථානය පවසයි.
 
වැඩබලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා විසින් මේ සම්බන්ධයෙන් සියලූම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන්, අණදෙන නිලධාරීන්, අධ්‍යක්ෂවරුන්, කොට්ඨාස බාර නිලධාරීන්,  දිස්ත්‍රික් බාර ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිවේදිත නිලධාරින් හා ස්ථානාධිපතිවරුන් වෙත මේ බව චක්‍රලේඛ මගින් දැනුම් දී ඇති බවද පොලිස් මුලස්ථානය පවසයි.