(විනීතා එම් ගමගේ)
 
දරුවන් 20 දෙනෙකු සිටින මවක ලෙස වැඩිහිටි දිනයේ දී උපහාර ලැබූ ගලේවෙල බඹරගස්වැව කටුපොත පදිංචි හස්තිමු ආරච්චිගේ රොසලින් නෝනා මාතාව ලොව වැඩිම දරු පිරිසක් ලැබූ මවගේ වාර්තාවට හිමිකම් ලබන්නේ දැයි සොයා බලන බව ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ සුමින්ද සිංගප්පුලි මහතා ලංකාදීපයට අද (2) පැවැසිය. 
 
මේ වනවිට වැඩිම දරුවන් පිරිසක් ඇති මාතාව ලෙස ගිනස් වාර්තාව ඇත්තේ දරුවන් 19 දෙනෙකු සිටින මවක් පිළිබඳ වාර්තාවක් යැයි කි ඒ මහතා ඒ පිළිබඳව නිත්‍යානුකූල සොයා බැලිම් සිදු කරන බව ද කීය. 
 
දැනට අසූ වන වියේ පසුවන ඇය දරුවන් විසි දෙනෙකුගේ මවක වන අතර එයින් දරුවන් 15 දෙනෙකු ජීවත්ව සිටිති. වැඩිමහල් දියණිය මේ වනවිට 60 හැවිරිදි වියේ පසුවන්නීය. බාලයා තිස් හැවිරිදි වියේ පසුවන්නේය. 
 
තම දරුවන් පස් දෙනෙක් වැඩිහිටිවියට පත්වූ පසුව නොයෙක් ලෙඩ දුක් හේතුවෙන් මිය ගිය බවත් තවමත් ඔවුන් සිහිපත්ව කඳුළු නැගෙන බව රොසලින් නෝනා මාතාව ලංකාදීපයට පැවැසුවාය. 
 
‘‘මම අවුරුදු 15 දි විවාහ වුණේ. එතකොට අපේ එක්කෙනාට අවුරුදු 21 යි. අවුරුද්දෙන් අවුරුද්දට අපට දරුවො ලැබුනා. ඒ කාලෙ නම් දරුවො හදා ගන්න අපි හරියට දුක් වින්දා. ඒත් ඒ අය උස් මහත් වුණාම සන්තෝසයි.  දැන් මට දරුවෝ, ඒ අයගෙ නෝනලා මහත්තයලා දරුමුණුපුරෝ ඔක්කොම 151 ඉන්නවා. ඒ කාලෙ විඳපු දුක් ගැන දැන් දුකක් නැහැ.‘‘යැයි ද ඇය පැවැසුවාය.