(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

ගන්දර තලල්ල මහ වංගුව ආසන්නයේ දී පෞද්ගලික බස් රථ දෙකක්අද (29) මුහුණට මුහුණලා හැපීමෙන් මගීන් 19 දෙනෙකු  තුවාල ලබා ඇතැයි ගන්දර පොලීසිය පවසයි.

බස් රථ දෙකේ සුන්බුන් අතර සිරවී සිටි තුවාලකරුවන් පොලීසිය හා ප්‍රදේශවාසීන් විසින් තලල්ල ග්‍රාමීය රෝහල හා මාතර මහ රෝහල වෙත පිටත් කර යවන ලදි.

තුවාලකරුවන් අතර කාන්තාවන් සිව් දෙනෙකු හා පාසල් සිසුන් තිදෙනෙකු සිටි බව පොලීසිය කියයි.

මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබන තුවාලකරුවන්ගෙන් සිව් දෙනෙකුගේ තත්ත්වය බරපතල බවත් එම රෝහලේ ප්‍රකාශකයකු පැවසීය.

මාතර සිට රදම්පල හරහා දික්වැල්ල දක්වා මගීන් ප්‍රවාහනය කරමින් තිබු බසයක් හා තංගල්ලේ සිට මාතර දෙසට ධාවනය වෙමින් තිබු විශේෂ චාරිකා බසයක් එසේ අනතුරට ලක්ව තිබුණි.