(නිමල කොඩිතුවක්කු)
ක‍්‍රිකට් පරිපාලනය  ක්‍රිකට් ක්‍රීඩාවට කළ විනාශය පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා පිට පැටවීම සාධාරණ නැතැයි හිටපු ක‍්‍රිකට් නායක සහ ප‍්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කොළඹදී පැවසීය.
 

ක‍්‍රිකට් වලට සිදුවූ හානිය  පුහුණුකරු ඉවත් කිරීමෙන් පමණක් වලක්වා ගත නොහැකි බවත් අමාත්‍යවරයා සදහන් කළේය.
 
රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ‍්‍රවණාගාරයේ අද (06) පැවති මාධ්‍ය හමුවකදී  ඔහු මේ බව පැවැසීය.
 
එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙසේ ද කීවේය.
 
   ‘‘පහුගිය කාළේ ක‍්‍රිකට් විනාශ වෙච්ච එක, එක පුද්ගලයෙක්ගේ  කරේ යවන්න එපා. දැන්  අන්තිමේදී ඔක්කොම වතුර බහින්නේ හතුරුසිංහගේ ඇගෙන්.  මේ පරිපාලනය නිසා තමයි ක‍්‍රිකට් විනාශ වුනේ.
 
ඩොලර් ලක්ෂ ගණනක් විදේශ රටවලට යවලා තියෙනවා. හොර ගුහාවක් මේක. මම මේ වගකීමෙන් කියන්නේ.මේ  අය කරපු විනාශය ගැන අද වනවිට  විගණකාධිපති වාර්තාවක් එන්න තියෙනවා.
 
දැන් අද වෙලා තියෙන්නේ ක‍්‍රීඩකයො ඔක්කොම හොදයි.  පරිපාලනයත් හොදයි හතුරුසිංහ තමයි වැරදි. මේ ඉන්න පරිපාලනයම තමයි හතුරුසිංහ ගෙනල්ල ඔය මුදල ගෙවන්න  ගත්තේ. එක පුද්ගලයෙකුට පමනක් ඇඟිල්ල දිගු කිරීමට මම එකඟ නැහැ.
 
මේ තියෙන තුවාලයට හතුරුසිංහ  ඉවත් කරන එක පිළියම නෙමෙයි. මේ හදන්නේ ලොකූ ප‍්‍රශ්නයකට පොඩි තුවාලෙකට බෙහෙත් දානවා එච්චරයි.
 
ක‍්‍රිකට් පිළිබද වංචා දූෂණ සෙවිමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පිළිබඳ  ඊළඟ පක්ෂ නායක රැස්වීමේදී ඒ ගැන බලනවා කියලා කතානායකතුමා  පැවසුවා .  තේරීම් කාරක සභාවක් දැම්මොත් මේ හොරකම්  වලට සම්බන්ධ අදාල පුද්ගලයන් කැඳවන්න පුලූවන්.  අපිව පාර්ලිමේන්තුවට යවලා තියෙන්නේ ඒ වෙනුවෙන්.