(විනීතා එම් ගමගේ)
ජාතික වීරයින් වෙනුවෙන් කෞතුකාගාරයක් ඉදිකරන ලෙස මගේ රට, අපේ පැතුම පදනම රජයෙන් ඉල්ලීමක් කරයි.
ලොව පුරා බොහෝ රටවල අතීත විරුවන්ගේ තොරතුරු රැගත් කෞතුකාගාර ඇතත් පෞඪ ඉතිහාසයක් හිමි ශ්‍රී ලංකාවට මේ වන තුරු ජාතික වීරයින් වෙනුවෙන් කෞතුකාගාරයක් ආරම්භ කර නැතැයි එම පදනම පෙන්වා දෙයි.
විශේෂයෙන් තරුණ පරපුරට කැප්පෙටිපොළ වැනි ශ්‍රේෂ්ඨ වීරයින් පිළිබඳ හදාරන්නට අවස්ථාව එයින් ලැබෙනු ඇතැයි මගේ රට අපේ පැතුම පදනමේ සභාපති නීතිඥ ප‍්‍රශාන්ත ලාල් ද අල්විස් මහතා ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛන සේවා මණ්ඩල ශ‍්‍රවණාගාරයේ අද (21) පැවැති මාධ්‍ය හමුවක දී ප‍්‍රකාශ කළේය.
මගේ රට අපේ පැතුම පදනම මඟින් මෙම මාධ්‍ය හමුව පැවැත්වූයේ මේ මස 26 වැනි දාට යෙදෙන කැප්පෙටිපොල 200 වැනි අනුස්මරණය නිමිත්තෙන් එම පදනම ක‍්‍රීයාත්මක කරන කැප්පෙටිපොල උරුමය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීම සඳහාය.
වර්තමානයේ චේගුවේරා චරිතය තරුණ පරපුර වැළඳගෙන ඇති අයුරින් කැප්පෙටිපොල චරිතය ශ්‍රී ලාංකික ජනතාව වෙත, විශේෂයෙන් තරුණ පරපුර වෙත ආවේශ්‍ය කිරීම ද තම වැඩසටහන් වල අරමුණක් යැයි එහි දී අදහස් දක්වමින් අල්විස් මහතා කීය.
‘‘කැප්පෙටිපොල දිසාව චේගුවේරා චරිතයට වඩා ප‍්‍රබල චරිතයක්. අතුරේ එක කැරැල්ලකටත් දකුණේ කැරලි දෙකකටත් මුහුණ දුන් අද තරුණ පරපුර ඉච්ඡා භංගත්වයට පත්වෙලා. තරුණ පරපුරට කැප්පෙටිපොල චරිතය ආරෝපණය කරන එක අපේ ඉලක්කයයි.
කැප්පෙටිපොළ දිසාව උඩරට ගිවිසුම සිංහල භාෂාවෙන් අස්සන් කළා. එයින් එතුමා මව් බසට ඇති ලැදියාව පෙන්නා දුන්නා. එය රට තුළ තහවුරු කිරීමත් ආදිවාසිකයින් විසින් වෙල්ලස්ස නිදහස් අරගලය ආරම්භ කිරීම මඟින් ඔවුන් ජාතික සමගියට දුන් නායකත්වය අගය කිරීමත් අපේ අරමුණයි. එමෙන්ම ජාති කුළ ආගම් වලින් තොරව ජාතිකවාදය තහවුරු කිරීමත් අරමුණ යැයි සභාපතිවරයා පැවසීය.
COMMENTS
ඉතාමත් හොඳ ක්‍රියාවක් , අපේ සිංහල ජාතික වීරයන් අද සමාජයට අමතක වීම තමයි මේ හැම විනාසයකටම හේතුව. ඉවසීමෙන් හා කැපවීමෙන් රට-ජාතිය වෙනුවෙන් ක්‍රියා කරන්නේ කොහොමද,සටන් කරන්නේ කොහොමද කියලා පූර්ව ආදර්ශයක් අපිට ලැබෙනවා. ඔබතුමාට හා ඔබ සංවිධානයට ජයශ්‍රී
ඉතාම කාලෝචිත අදහසක්. වෙන රටක උපන් චේ ගුවේරා, කාල් මාක්ස්, එංගල්ස්, ට්‍රොට්ස්කි වන්දනා කරන අපේ තරුණ තරුණියන් වන්දනා කළ යුත්තේ කැප්පෙටිපොල වැනි වීරයන්වයි.
ඉතා හොඳයි.
චේ කියල කියන්නේ ජාතියක් හෝ රටක් හෝ ආගමක් වෙනුවෙන් සටන් කරපු කෙනෙක් නෙවෙයි. දුක් විඳින පීඩිත පන්තිය වෙනුවෙන් සුළු ධනේශ්වර සහ ධනේශ්වර පන්තිය වෙනුවෙන් නැගී සිට, සමාජයේ අක්‍රමික තා වෙනුවෙන් පාලකයන් එක්ක සටන් වැදුන මිනිහෙක්. කැප්පෙටිපොල සෙනෙවි තුමා කියන්නේ පර දේසක්කාරයන්ගෙන් ලංකාව බේරා ගන්න හදපු වීරයෙක්. මේ දෙන්නාව සංසන්දනය කරන්න බැහැ.
ඉතා හොඳ යෝජනාවක්. අපිටත් එයට දායක වෙන්න පුළුවන් ක්‍රමයක් කියන්න.
කැප්පෙටිපොල සටන් කලේ තමන්ගේ වැඩවසම් රදළ පරපුර රැකගන්න. රදළයන්වයි රජවරුන්වයි සැමරුව ඇති. අපේ පන්තියේ මිනිස්සු ජිවත්වුන විදිය පෙන්නන කෞතුකාගාරයක් හදන්න.
කැප්පෙටිපොළ දිසාව සහ චේගුවේරා සම කල හැකි පුද්ගලයන් නොවෙයි. එක හරියට ඇපලුයි දොඩම්තුයි සැසඳීමක් වගෙයි.
ඉතිහාසයට අපහාස කරන එකා ජාතියක් ජන්මයක් නැති එකෙක් ජයරත්න...
චේගුවේරාව අද තරුණ පරපුර වැළඳගෙන ඉන්නේ විලාසිතාවක් විදිහට. එහෙම නැතුව කෞතුක වස්තුවක් විදිහට නෙවෙයි. ලංකාවේ ඕනම කෞතුකාගාරයක් සෙනඟ පිරෙන තැනක් නෙවෙයි. කැප්පෙටිපොළ දිසාව ඇතුළුව ජාතික වීරයෝ කිහිප දෙනක් ගැනම පාසල් විෂයය නිර්දේශයන්ට ඇතුළ් කරලා තියෙනවා. එහෙම වෙලත් ජාතික වීරයෝ ගැන හැඟීමක් නැහැ කියනවා නම් එතන තියෙන්නේ මිනිස්සුන්ගේ ආකල්ප ගැන ගැටළුවක්.
මෙහි අරමුණ චේ ගුවේරා සහ කැප්පෙටිපොල චරිත සැසඳීම නොවන බව පෙනෙන අතර ආදර්ශවත් නායකත්වයක් නොමැති ලාංකේය තරුණ පරපුරට අපේම ආදර්ශවත් නායකත්වයක් හදුන්වා දීම යහපත් කාරණාවකි...
ජයරත්නගේ කතාව සම්පුර්ණ ඇත්ත. ඔය කියන උඩරට රදල පරපුර ඒ තරම් හොඳ අය නොවෙයි. සුද්දන්ට එරෙහිව ඔවුන් බොහෝ විට සටන් කරේ, රටට වඩා තමන්ගේ රදල පෙළපත රැක ගැනීමටයි කටයුතු කළේ...
ඔබතුමා නීතිඥයෙක් වෙලත් චේ ගුවේරා හා කැප්පෙටිපොල නිළමේ සැසඳීම වැරදියි. කැප්පෙටිපොල නිළමේ දන්නෙ අපි විතරයි. චේ ගුවේරා ලෝකේ හැම රටකම මිනිසුන් දන්නා කෙනෙක්...