(හර්ෂණ තුෂාර සිල්වා)
 
අත් අඩංගුවට ගන්නා ලද පිළිවෙල අනුව සහ තවත් කොන්දේසි කිහිපයක් මත මෙරට අත්අඩංගුවේ තිබෙන ඉන්දීය ධීවර යාත්‍රා නිදහස් කිරීමට ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය තීරණය කර තිබේ. 
 
ඒ අනුව අත්අඩංගුවට ගත් පිළිවෙළ සහ නැවත මෙරට මුහුදු සීමාවට ඇතුළු නොවීමේ කොන්දේසිය සහ තවත් කොන්දේසි කිහිපයක් මත බෝට්ටු නිදහස් කෙරෙනු ඇත. 
 
ශ්‍රී  ලංකා මුහුදු සීමාවට ඇතුළු වී නීති විරෝධී මත්ස්‍ය පන්න ක්‍රමයක් වන බොටම් ට්‍රෝලින් ක්‍රමයෙන් මසුන් මැරීමේ නිතර වූ ඉන්දීය ධීවර යාත්‍රා 140කට  ආසන්න ප්‍රමාණයක් නාවික හමුදා අත්අඩංගුවේ තිබේ.  
 
ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය සහ මහවැලි රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් ධීවර අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති රැස්වීමකදී මෙම තීරණය ගත් බව එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. 
 
ඉන්දු ලංකා ධීවර අර්බුදය විසඳීමේදී ශ්‍රී ලංකා රජය ගන්නා ලද නම්‍යශීලි තීරණයක් මත 2015 දී අත් අඩංගුවට ගන්නා ලද ධීවර යාත්‍රා 42ක් නිදහස් කිරීමට තීරණය කර ඇති අතර, ඒවා බාර ගන්නා ලෙස ඉන්දීය රජයට දන්වා ඇතැයි ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කර තිබේ.