(කාංචන කුමාර ආරියදාස)
 
කැකිරාව  මඩාටුගම ප්‍රදේශයේ පිහිටා තිබූ තව්හීද් ජමාත් සංවිධානයේ  පිරිසක් වැඳුම් පිදුම් කළ පල්ලියක්  කඩා දැමීමට මඩාටුගම මුස්ලිම් ජනතාව හා ප්‍රධාන පල්ලියේ සාමාජිකයෝ අද(29)  ක්‍රියා කළහ.
 
එහි ප්‍රධාන සභාපති එම්. එච්. එම්. අක්බර් ඛාන් මහතා කියා සිටියේ තම ගම්මානයේ පදිංචි අයකු විසින් ප්‍රදේශයේ දරුවන්ගේ පුස්තකාලයක් සඳහා ඉඩම් කැබැල්ලක් වෙන් කොට තිබියදී විදේශීය රටක සංවිධානයක මුදල්වලින් මෙම ස්ථානයේ පල්ලිය පසුගිය කාලයේ ඉදි කළ බවයි.
 
ඒ අනුව වර්තමානයේ රටේ පවතින තත්වය නිසා තවත් පල්ලියක අවශ්‍යතාවයක් නොවන නිසා තම පල්ලියේ කාරක සභාව එක්ව මෙම පල්ලිය කඩා ඉවත් කිරීමට තීරණය කළ බවද  හෙතෙම සඳහන් කළේය.

පසුව මෙම මඩාටුගම ප්‍රදේශයේ පදිංචිකරුවන් විසින් කුළු ගෙඩි උපයෝගී කරගෙන ඉදිකොට තිබූ පල්ලියේ කොටස් කඩා බිඳ දමන ආකාරය ද අරාබි අකුරු වලින් ලියවී තිබු පළකයද කඩා දමා ඇති ආකාරය  දැක ගැනීමට හැකියාව ලැබිණි.  මෙම පල්ලිය ඉදිකිරීම සඳහා විදේශීය රටවලින් මුදල් ලැබී තිබෙන බවත් අරාබි අක්ෂර වලින්   මුදල් වියදම් කළ අයගේ නාම ලේඛනය ඵලකය සටහන් කොට තිබෙන බවද ඔවුහු ඒ අක්ෂර නොදන්නා බව සඳහන් කළහ.
 
එම ස්ථානයට පැමිණි මඩාටුගම ප්‍රදේශවාසීයකු වූ මොහොමඩ්  අමීන් මහතා කියා සිටියේ  මේ කඩා දමන පල්ලියට නමක් නොතිබූ බවත් මුස්ලිම් පල්ලිය නමින් හැඳින්වූ බවත් තවුහිත් ජමාත් කණ්ඩායම මෙහි වැඳුම් සිදු කළ බවත්ය. 

මඩාටුගම ජුම්මා පල්ලියේ පිරිස කියා සිටියේ මෙම ප්‍රදේශයේ සිංහල ජනතාව සමඟ කාලයක් තිස්සේ ඉතාමත් සමීපව ඇසුරු කළ තමන්ට මෙම තවමත් සමාජයේ නිසා දැඩි හානි දායක තත්ත්වයකට පත්ව තිබෙන බව යි.

ඒ  නිසා තම ගම්මානයේ සියලු දෙනාගේම කැමැත්ත සාකච්ඡා කොට නැවතත් මෙම ප්‍රදේශයේ ජනතාව සමග එක්ව කටයුතු කිරීමට අවැසි නිසා මෙම විදේශ රටවලින් ඉදිකළ පල්ලිය කඩා දැමීමට ගමන් ඒ ජනතාව තීරණය කළ බවද ඔවුහූ කියන්නට වූහ.